වංචාව දූෂණය නතර කළ විට රාජ්‍ය ආයතන ගොඩනැගිය හැකි බව මිල්කො ආයතනය තහවුරු කළා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආර්ථික ක්‍රියාවලියට සියලුදෙනා සම්බන්ධ වන, සියල්ලන්ට ප්‍රතිලාභ ලැබෙන නව පරිවර්තනීය යුගයක් ගොඩනැගිය හැකි බව අපට විශ්වාසයි.

පරිවර්තනීය යුගයක් වෙනුවෙන් ආර්ථික ක්‍රියාවලිය තුළ සියලුදෙනාම සම්බන්ධ කරගනිමින්, සියලුදෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැගීමට හැකි බව රජයට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රකාශ කළා ය.

පෙබරවාරි 02 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති ’මිල්කො කිරිගොවි අභිමන්’ කිරිගොවි ප්‍රසාද දිමනා පිරිනැමීමේ සහ කිරිගොවි රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ ජාතික උත්සවය හා සම්බන්ධ වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

’කිරෙන් පොහොසත් සාරවත් රටක්’ යන තේමාව මුල් කරගත් මිල්කෝ කිරිගොවි අභිමන් උළෙල, 2025 වර්ෂයේ ඉහළ ම වෙළඳ පිරිවැටුප් වාර්තා තබමින් ඓතිහාසික ශුද්ධ ලාභයක් වාර්තා කළ මිල්කෝ ආයතනයට එම ලාභය අත්කරගැනීම සඳහා උරදුන් මිල්කෝ කිරිගොවි ප්‍රජාව ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරිණ.

මෙම වැඩසටහනට අනුව මිල්කෝ ආයතනය හා සම්බන්ධ කිරි ගොවීන් 22000කට ආසන්න පිරිසක් වෙත මිල්කෝ ආයතනයේ ලාභාංශ, දීමනා ලෙස ප්‍රධානය කිරීමට නියමිත අතර මෙම උත්සවයේ දී කිරිගොවීන් දෙදහසකට එම දීමනාව සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී. මිල්කෝ ආයතනය හා සම්බන්ධ දිවයිනේ සියලු පළාත්වල කිරි ගොවීන් සඳහා ප්‍රසාද දීමනා ප්‍රදානය කිරීම සහ ක්ෂේත්‍ර නිලධාරීන් ඇගයීමට ලක් කිරීමද මෙම උත්සවයේ දී සිදුවිය.

එමෙන්ම සමාජ ආරක්ෂණ අරමුදල හා මිල්කෝ ආයතනය එක්ව ක්‍රියාත්මක කරන කිරිගොවි විශ්‍රාම යෝජනා ක්‍රමයේ විශ්‍රාම වැටුප් සඳහා සාමාජික හිමිකම් පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදුවිණි.

අනතුරුව උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් අග්‍රාමාත්‍යවරිය වත්මන් රජය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වුණු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැපවන බවත්, ඒ තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා රටේ සියලු නිශ්පාදකයන් සම්බන්ධ කරගැනීම සහ එහි ප්‍රතිලාභ සියලුදෙනාට ලැබෙන ආකාරයෙන් කටයුතු කිරීම ආර්ථිකයේ ප්‍රධානම අංගයක් ලෙස සලකන බව කියා සිටියා ය.

අපේ රටේ ආයතන තුළ වංචාව දූෂණය අවම කර , නිසි කළමනාකාරිත්වයක් හා ඉලක්ක සහගත නායකත්වයක් යටතේ නිසි ලෙස පාලනය කිරීම මඟින් ශක්තිමත් ,ප්‍රයෝජනවත්, ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ආයතන ලෙස ගොඩනැගිය හැකි බව මිල්කෝ ආයතනය කෙටි කාලයකින් ඔප්පු කර ඇති බවද පැවසී ය.

වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරිය ,

​“මේ ලාභාංශ අපි ලබාදෙන්නෙ අවුරුදු 21කට පසුවයි. මීටවසර 21කට පෙර ගරු ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙටි කාලයේ තමයි මෙය ක්‍රියාත්මක වුණේ. වසර 21ක් ගියා නැවත වතාවක් අපිට ඒ තැනට එන්න. එයින් පැහැදිලිව පේනවා පහුගිය කාලය තුළ හිටපු පාලකයො මොන තරම් බොරුවක්ද මේ රටට කළේ කියලා. අපිට මාස පහළොවකින් දාසයකින් මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුණා නම් අවුරුදු ගණනක් මේ ආයතන භාරගෙන හිටපු අය කරපු ඒ වංචාව හොඳටම ඔප්පු වෙනවා. ඒ දේවල් නිවැරදි කරන්න ආර්ථික ක්‍රියාවලිය තුළ සියළු දෙනා සම්බන්ධ කරගෙන ඒ සියලු දෙනාට ප්‍රතිලාභ දෙන, ආයතන නිසි අයුරින් ශක්තිමත්ව ගොඩනගන කාලයක් එළඹිලා තිබෙනවා. ” යනුවෙන් පැවසී ය.

මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ කෘෂිකර්ම, පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත මහතා වසර ගණනාවක් පුරාවට පාඩු ලබන ආයතනයක් ලෙස පැවති මිල්කෝ ආයතනය කෙටි කාලයක් තුළ ඉහළ ආදායම් ලබන ආයතනයක් දක්වා ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ කිරිගොවීන් ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මෙවන් අවස්ථාවන් සඳහා ජාතික වටිනාකමක් ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේ ය.

නව රජයේ ජනතාවාදී ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නිසා මෙම ආයතනය දියුණුකර විශාල අදායම් ඉපයීමට හැකි වූ බවත්, රාජ්‍ය ආයතන දියුණු කර විශාල වශයෙන් ආදායම් ඉපැයිය හැකි බව මෙමඟින් වඩාත් තහවුරු වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. කිරිගොවීන්ට සිය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු අවමකර ගැනීම වෙනුවෙන් රජය හරහා ඉටුවිය යුතු සහයෝගය ලබා දීමට ඉදිරියටත් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඉහළ ප්‍රමිතියෙන් නිසි ක්‍රමවේදයන් අනුව කිරි කර්මාන්තය පවත්වාගෙන යාමට කැපවන ලෙස කිරි ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න , කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ , මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ හා ආයතන නිලධාරීන් මෙන්ම දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි කිරි ගොවි මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය