ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන ලෙස විසඳුම් ලබා දෙනවා - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන ලෙස විසඳුම් ලබා දීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය.
ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය සම්බන්ධව පත්කළ කමිටුව විසින් ප්‍රධාන විසදුම් මර්ග දෙකක් යටතේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
පළමු නිර්දේශය ලෙස විශ්වවිද්‍යාලයේ දැනට පවතින පාඨමාලා ඒ ආකාරයෙන්ම වෙනත් සුදුසු විශ්වවිද්‍යාල සමඟ අනුබද්ධව පවත්වාගෙන යෑම හෝ දැනට හදාරන පාඨමාලාවලට සමාන වෙනත් විශ්වවිද්‍යාලවල ඇති පාඨමාලාවලට අනියුක්ත කිරීම, දෙවන නිර්දේශය වන්නේ විශ්වවිද්‍යාලය එලෙසින්ම පවත්වා ගනිමින් අවශ්‍ය සම්පත් සහ පහසුකම් ලබා දෙමින් පවතින පාඨමාලා විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාම.
මෙම නිර්දේශ දෙකෙන් වඩා ගැලපෙන නිර්දේශ තෝරාගැනීම සඳහා අදාල පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් පසුවන අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇත.
කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන ලෙස විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාවයි. ඒ නිසා පළමු කණ්ඩායමේ උපාධිය අවසන් වීමට පෙර කඩිනමින් විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා.
කුමන නිර්දේශය ක්‍රියාත්මක කළත් දැනට පවත්වාගෙන යන පාඨමාලාවල විශේෂිකරණයන් වෙනස් නොකිරීමට කමිටුව විසින් තීරණය කර තිබෙනවා. යම් පාඨමාලාවක් මෙරට තුළ මෙම විශ්ව විද්‍යාලයේ පමණක් පවතින්නේ නම් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කොට වඩාත් සුදුසු විශේෂිකරණයක් ලබාදීමට කටයුතු කරනවා.
දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ (Faculty of Indigenous Health Sciences & Technology) BSc (Hons) in Indigenous Medicinal Resources , BHSc (Hons) in Indigenous Pharmaceutical Technology යන උපාධි පාඨමාලාවල විෂය නිර්දේශය සුදුසු පරිදි වෙනස් කිරීම සඳහා අදාළ පාර්ශව (Stakeholders Consultations) සමඟ සාකච්ඡා 2025.07.25 දින පවත්වා තිබෙනවා. අනිකුත් පාඨමාලා සඳහා ද මෙම සාකච්ඡා පැවැත්වීමට කමිටුව උපදෙස් ලබා දීලා තිබෙනවා.
උපාධි පාඨමාලාවලට අදාළ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධව සේවායෝජකයින් හඳුනා ගැනීමට කටයුතු කරනවා. එසේ නොමැති ගැටළු සහගත පාඨමාලා රැකියා අවස්ථා නිර්මාණය කර දිය හැකි පරිදි විෂයමාලා සංශෝධනය හෝ රැකියා අවස්ථා තහවුරු කළ හැකි පාඨමාලා සඳහා සිසුන් අනුයුක්ත කිරීම සිදු කිරීමට කටයුතු කරනවා.
ඒ වගේම දැනට විශ්ව විද්‍යාලයේ පවතින ඉඩ පහසුකම් පිළිබඳ ගැටළුව විසඳීමට විශ්ව විද්‍යාලය විසින් කටයුතු කරමින් තිබෙනවා. ඒ අනුව නුගේගොඩ ප්‍රදේශයේ පවතින පීඨය ගම්පහ ප්‍රධාන විශ්ව විද්‍යාලය ආසන්නයේ ප්‍රමාණවත් ඉඩකඩ ඇති ගොඩනැගිල්ලකට ගෙනයාම, දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ ඇතැම් දෙපාර්තමේන්තු විශ්ව විද්‍යාලය අවට වෙනත් ස්ථානයකට ගෙන යාමට නියමිතයි.
Faculty of Indigenous Health Sciences & Technology), දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ පීඨය (Faculty of Indigenous Social Science & Management) සහ පශ්චාත් උපාධි පීඨය (Faculty of Graduate Studies) යන පීඨ සඳහා නව බඳවා ගැනීම් තාවකාලික ව අත්හිටුවන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා.
ආචාර්යවරු බඳවා ගැනීමේ දී සිදු වී ඇති වංචා පිළිබඳවත් විමර්ශන කටයුතු සිදුකර නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යතුමිය පැවසීය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය