අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන ලෙස විසඳුම් ලබා දෙනවා - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන ලෙස විසඳුම් ලබා දීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය.

ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය සම්බන්ධව පත්කළ කමිටුව විසින් ප්‍රධාන විසදුම් මර්ග දෙකක් යටතේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පළමු නිර්දේශය ලෙස විශ්වවිද්‍යාලයේ දැනට පවතින පාඨමාලා ඒ ආකාරයෙන්ම වෙනත් සුදුසු විශ්වවිද්‍යාල සමඟ අනුබද්ධව පවත්වාගෙන යෑම හෝ දැනට හදාරන පාඨමාලාවලට සමාන වෙනත් විශ්වවිද්‍යාලවල ඇති පාඨමාලාවලට අනියුක්ත කිරීම, දෙවන නිර්දේශය වන්නේ විශ්වවිද්‍යාලය එලෙසින්ම පවත්වා ගනිමින් අවශ්‍ය සම්පත් සහ පහසුකම් ලබා දෙමින් පවතින පාඨමාලා විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාම.

මෙම නිර්දේශ දෙකෙන් වඩා ගැලපෙන නිර්දේශ තෝරාගැනීම සඳහා අදාල පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් පසුවන අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇත.

කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන ලෙස විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාවයි. ඒ නිසා පළමු කණ්ඩායමේ උපාධිය අවසන් වීමට පෙර කඩිනමින් විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා.

කුමන නිර්දේශය ක්‍රියාත්මක කළත් දැනට පවත්වාගෙන යන පාඨමාලාවල විශේෂිකරණයන් වෙනස් නොකිරීමට කමිටුව විසින් තීරණය කර තිබෙනවා. යම් පාඨමාලාවක් මෙරට තුළ මෙම විශ්ව විද්‍යාලයේ පමණක් පවතින්නේ නම් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කොට වඩාත් සුදුසු විශේෂිකරණයක් ලබාදීමට කටයුතු කරනවා.

දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ (Faculty of Indigenous Health Sciences & Technology) BSc (Hons) in Indigenous Medicinal Resources , BHSc (Hons) in Indigenous Pharmaceutical Technology යන උපාධි පාඨමාලාවල විෂය නිර්දේශය සුදුසු පරිදි වෙනස් කිරීම සඳහා අදාළ පාර්ශව (Stakeholders Consultations) සමඟ සාකච්ඡා 2025.07.25 දින පවත්වා තිබෙනවා. අනිකුත් පාඨමාලා සඳහා ද මෙම සාකච්ඡා පැවැත්වීමට කමිටුව උපදෙස් ලබා දීලා තිබෙනවා.

උපාධි පාඨමාලාවලට අදාළ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධව සේවායෝජකයින් හඳුනා ගැනීමට කටයුතු කරනවා. එසේ නොමැති ගැටළු සහගත පාඨමාලා රැකියා අවස්ථා නිර්මාණය කර දිය හැකි පරිදි විෂයමාලා සංශෝධනය හෝ රැකියා අවස්ථා තහවුරු කළ හැකි පාඨමාලා සඳහා සිසුන් අනුයුක්ත කිරීම සිදු කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම දැනට විශ්ව විද්‍යාලයේ පවතින ඉඩ පහසුකම් පිළිබඳ ගැටළුව විසඳීමට විශ්ව විද්‍යාලය විසින් කටයුතු කරමින් තිබෙනවා. ඒ අනුව නුගේගොඩ ප්‍රදේශයේ පවතින පීඨය ගම්පහ ප්‍රධාන විශ්ව විද්‍යාලය ආසන්නයේ ප්‍රමාණවත් ඉඩකඩ ඇති ගොඩනැගිල්ලකට ගෙනයාම, දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ ඇතැම් දෙපාර්තමේන්තු විශ්ව විද්‍යාලය අවට ‍වෙනත් ස්ථානයකට ගෙන යාමට නියමිතයි.

Faculty of Indigenous Health Sciences & Technology), දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ පීඨය (Faculty of Indigenous Social Science & Management) සහ පශ්චාත් උපාධි පීඨය (Faculty of Graduate Studies) යන පීඨ සඳහා නව බඳවා ගැනීම් තාවකාලික ව අත්හිටුවන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ආචාර්යවරු බඳවා ගැනීමේ දී සිදු වී ඇති වංචා පිළිබඳවත් විමර්ශන කටයුතු සිදුකර නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යතුමිය පැවසීය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ලෝකය වෙනස් කළ හැකි නිර්මාණශීලී පරපුරක් අපට අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් පාසල් පද්ධතිය තුළට නව නිපැයුම් සමාජ 100ක් හඳුන්වාදීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 08 වැනි දා කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී එම නව නිපැයුම් සමාජ බිහි කිරීම නිල වශයෙන් ආරම්භ කිරීම සංකේතවත් කරමින් දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරමින් පාසල් 09ක් වෙත නව නිර්මාණ සමරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරන ලදී.

නව නිපැයුම් ප්‍රවර්ධනය තුළින් ජාතික ආර්ථිකයට ලබා දිය හැකි දායකත්වය, පාසල් නව නිපැයුම්කරණයේ අවස්ථා හා අභියෝග, නව නිපැයුම් සමාජ බිහි කිරීමේ දී ගුරුවරුන්ගේ භූමිකාව, නිපැයුම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ වැදගත්කම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නව නිපැයුම් සහ නවෝත්පාදනය තුළින් නිර්මාණශීලී ශ්‍රම බලකායක් දැයට දායාද කිරීම යන මූලික කාරණා මෙම උත්සව අවස්ථාවේ දී විශේෂයෙන් සාකච්ඡා විය.

අග්‍රාමාත්‍යවරිය විසින් උත්සව සභාව ආමන්ත්‍රණය කරමින්,

නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ඒ සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය ද අවධාරණය කරන ලදී. එමෙන්ම නව නිපැයුම්කරුවාගේ වටිනාකම අධ්‍යාපන සුදුසුකම්, උපාධිය හෝ පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය මත පදනම් නොවන බවත්, පවතින සමාජය වඩා යහපත් කිරීම වෙනුවෙන් නව නිපැයුම් කරුවා දක්වන දායකත්වය වඩා වැදගත් වන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන ලදී.

සමාජය පිළිබඳ හැඟීමක් හා සමාජය පිළිබඳ වගකීමක් ඇති , සහකම්පනයෙන් යුතු මානවවාදී නව නිපැයුම්කරුවන් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සහ ඔවුන් ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීම වන බවත් අග්‍රාමාත්‍යවරිය පවසන ලදී.

" අපට අවශ්‍ය වන්නේ දත්ත දන්න පරපුරක් විතරක් නොවෙයි. ඒ දත්තවල සත්‍ය අසත්‍යභාවය, විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි, විචාරශීලී බුද්ධියක් ඇති අලුත් විදිහට දකින්න පුලුවන්, ඒ දත්ත කරුණු පාවිච්චි කරලා ලෝකය වෙනස් කරන්න පුලුවන් මනසක් තියෙන නිර්මාණශීලිත්වය තියෙන පරපුරක් අපිට අවශ්‍යයි. අලුතින් හිතන්න, අලුතින් දෙයක් දිහා බලන්න, දත්ත, තොරතුරු හා දැනුම පසුපස හඹාගෙන යන්න දන්න ලෝකය ගැන කුතුහලයක් ඇති අය අපිට අවශ්‍යයයි." යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කළ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ද නව නිපැයුම් බිහි කිරීමේ වැදගත්කම සහ ඒ වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය වෙත මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය වෙත ද වගකීම් රැසක් පවතින බව සඳහන් කරන ලදී. එමෙන්ම මෙරටට ඇති සුවිශේෂීම සම්පත් වන්නේ රට වෙනුවෙන් නව නිපැයුම් සිදුකරන ඒ වෙනුවෙන් අනාගත සිහින දකින නව පරපුර බව අමාත්‍යවරයා පැවසූ අතර, නව නිපැයුම් වෙනුවෙන් අවැසි උපරිම සහයෝගය දරුවන් වෙනුවෙන් ලබා දීමට රජයක් ලෙස කටයුතු කරන බව ද අමාත්‍යවරයා විසින් මෙහි දි වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් වයි. එල්. මොහොමඩ් නවවි, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහචාර්ය වෙරන්ජ කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන්, විදුහල්පතිවරුන්,ගුරුභවතුන් මෙන්ම නව නිපැයුම් බිහි කරන පාසල් දරුවන් පිරිසක් සම්බන්ධ වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති, ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්.

ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් Husain Al Musallam මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සැප්තැම්බර් 08 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් Husain Al Musallam ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව සහ අභිවෘද්ධිය සඳහා රජය සහ ක්‍රීඩා ක්ෂේත්‍රය අතර සබඳතා ගොඩ නඟා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළේය. එමෙන්ම ක්‍රීඩා නීතියට අදාළව පවතින ගැටලු විසඳීමේදී අදාළ නීති රෙගුලාසි හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී සෞඛ්‍යට මෙන්ම පාසල් දරුවන්ගේ සහ ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම සහ ක්‍රීඩාවේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය පිළිබඳ ව සඳහන් කළාය. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඉදිරියේදී සාකච්ඡා කර ජල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළාය.

මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාද සහභාගි විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරියගේ ශුභාශිංසන පණිවුඩය

ශ්‍රී ලංකාවාසී මෙන්ම ලොව පුරා වෙසෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට, මුහම්මද් නබි නායකතුමන්ගේ උතුම් ජන්ම දිනය සමරන මෙම ශුද්ධ වූ දිනයේදී, මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

මුහම්මද් නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, හුදෙක් ආගමික රාමුවකට සීමා නොවූ, සමස්ත මානව වර්ගයාගේ යහපත උදෙසා වූ විශ්වීය මානුෂීය ප්‍රතිපත්ති මාලාවකි. විශේෂයෙන්ම, සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, පීඩිත ජනයා කෙරෙහි දක්වන කරුණාව සහ පාලකයන්ගේ වගවීම පිළිබඳ එතුමන්ගේ ඉගැන්වීම්, වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළ වේ.

එතුමන්ගේ පණිවිඩය, එකල පැවති අසාධාරණ, ගෝත්‍රිකවාදී සහ දූෂිත සමාජ ක්‍රමයට එරෙහිව නැගුණු විප්ලවීය ප්‍රකාශනයක් විය. එය, මිනිසා විසින් මිනිසාව සූරාකෑමෙන් තොර, සියලු දෙනාටම ගෞරවයෙන් ජීවත් විය හැකි සමාජයක් පිළිබඳව වූ උදාර දැක්මකි. අප රටක් ලෙස නව සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන මේ මොහොතේ, දූෂණයෙන් හා විෂමතාවයෙන් තොර සාධාරණ පාලනයක් පිළිබඳ එම ආදර්ශයන්, අපට මහත් ශක්තියක් සහ පෙළඹවීමක් සපයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රගමනය උදෙසා මුස්ලිම් ප්‍රජාව දක්වා ඇති ඓතිහාසික දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන අතර, මෙම උතුම් ඉගැන්වීම් ආදර්ශයට ගනිමින්, සියලු ජනතාවට සාධාරණය ඉටු වන, මානුෂීය සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

සැමට සාමය සතුට සපිරි මිලාද් උන්-නබි දිනයක් වේවා!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 සැප්තැම්බර් 05

අගමැතිනිය සහ ඉතාලියේ නියෝජ්‍ය මහලේකම් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria Tripodi මහත්මිය අතර හමුවක් සැප්තැම්බර් 4 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

දේශපාලන උපදේශන සඳහා අවස්ථාවැඩි කිරීම, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික හා අධ්‍යාපනික හුවමාරු ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ දූෂණයෙන් තොර ස්ථාවර ජාතියක් ඉදිරියට ගෙන යාම සඳහා වන වත්මන් රජයේ වැඩපිළිවෙල පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය. යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ඉතාලිය සමඟ පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින් ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දීම පිලිබඳවද අදහස් දැක්වීය. Tripodi මහත්මිය ද ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය පැසසුමට ලක් කළ අතර, වත්මන් වැඩපිලිවෙල සඳහා ඉතාලියේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovig ඇතුළු ඉතාලි රජය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න එම අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ, ඉසුරිකා කරුණාරත්න යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

’වගකිවයුතු රජයක් ලෙස, දරුවන්ගේ අයිතිවාසිකම් ඉහළ නැංවීම හා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය යොදාගැනීමට සහතික විය යුතුයි.’ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ළමයින් සඳහා මූල්‍ය නියෝජනයේ වැදගත්කම අවධාරණය කරමින් අග්‍රාමාත්‍යතුමිය පවසන ලද්දේ "රජයේ අයවැය, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සඳහන් කරන ළමා අයිතිවාසිකම් හා ළමා සුභසාධනය සත්‍යාපනය කිරීම සඳහා පවතින බලවත්ම සාධකයක් බවත්. එමෙන්ම වගකිවයුතු රජයක් ලෙස, දරුවන්ගේ අයිතිවාසිකම් ඉහළ නැංවීම හා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය යොදාගැනීමට සහතික විය යුතු බවයි.

අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ “Financing What Matters: Strengthening Public Financial Management for Inclusive Social Outcomes for Children and Families” මැයෙන් සැප්තැම්බර් මස 03 හා 04 දෙදින කොළඹ NH Collection හෝටලයේ පැවැත්වෙන EU-UNICEF Public Finance Facility නම් කළාපීය දැනුම් හුවමාරු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. යුරෝපා සංගමයේ සහයෝගයෙන් UNICEF ආයතනය සංවිධානය කළ මෙම වැඩසටහන ආසියාවේ රාජ්‍ය මූල්‍ය කළමණාකරන, අයවැය හා වියදම් කළමනාකරණ ප්‍රතිපත්ති සම්පාදකයින් හා මෙම ක්ෂේත්‍රයේ අන්තර්ජාතික පාර්ශවකරුවන් අතර දැනුම හුවමාරු කර ගැනීමට සංවාද අවකාශයක් ලෙස ක්‍රියාත්මක වේ.

අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් කියා සිටියේ, අප රජයේ සියළුම ප්‍රතිපත්තීන් දරුවන්ට ඉහළම අවශ්‍යතාව පිළිඹිඹු කරනවා. අපගේ රජය දරුවන් තබා ඇත්තේ අපගේ වගකීම් අතර හදවත ලෙසයි. එයින් වැඩි වශයෙන්ම පීඩාවට පත්වන දරුවන් ඇතුළු වැඩි අවදානම් පිරිසට ඇතිවන ආර්ථික අභියෝගයන්ගේ බලපෑම පිළිබඳ දැනුම්වත් භාවයෙන් යුතුව, රාජ්‍ය මුල්‍ය කළමණාකරණයේ දී ප්‍රමුඛතාවක් ලබා දෙමින් කටයුතු කරන බවත්ය.

මේ අනුව අප විසින් 2025 වර්ෂයේ අයවැය සඳහා ළමුන් කේන්ද්‍ර කරගත් විශේෂ මූල්‍යමය ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දී ඇත. නිවාසගත හෝ භාරකරුවන් භාරයේ සිටින දරුවන් සඳහා මාසික රු. 5,000ක දීමනාවක් ලබාදීම සඳහා රු. බිලියනයක් වෙන් කර ඇති අතර එයින් රු. 2,000ක් ළමයාගේ බැංකු ගිණුමට බැර කරනු ලබන අතර රු. 3,000ක් දරුවාගේ නඩත්තුව සඳහා ලබාදීම, ධාරිතාව වැඩි කිරීම, ව්‍යුහගත පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා සහතිකලත් ළමානිවාස ආයතන 379කට රු. මිලියන 500ක් වෙන් කිරීම. එසේම, වයස අවු. 18 සම්පූර්ණ වී විවාහ වූ පසු දීර්ඝකාලීන ආරක්ෂාවක් සහතික කිරීම හා ස්ථාවර නිවෙස් ගොඩනැගීම සඳහා නිවාස ගත දරුවන්ට රු. බිලියනයක් වෙන් කිරීම සිදු කරනු ලැබ ඇති බවත්ය.

ඊට අමතරව, නිවාසගත දරුවන්ට අධිකරණයට ගමන් කිරීමට අවශ්‍ය ළමයින් සඳහා, ළමයින්ට උචිත ප්‍රවාහන පද්ධතියක් පිහිටුවීම සඳහා රු. මිලියන 250ක් වෙන් කර ඇත. ස්නායුගත ආබාධ සහිත ළමයින් (Neuro-Developmental Disabilities) (උදා: ඔටිසම්) සඳහා, ලේඩි රිජ්වේ ළමුන්ගේ රෝහලේ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රු. මිලියන 200ක් වෙන් කර ඇත. එමෙන්ම එම දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට ආකෘතිමය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා රු. මිලියන 250ක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.

මෙම අයවැය ප්‍රතිපාදන වෙන්කිරීම්, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා මෙතෙක් අයවැය තුළ ඉතිහාසගත වැඩිකිරීම වන අතර, අවදානම් තත්ත්වයන්ට ලක්වූ ළමයින් රැකදීම, පවුල් ශක්තිමත් කිරීම, සහ ශ්‍රී ලංකාවේ සැම ළමයෙකුට අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍යය සහ මානසික සහාය ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම වෙනුවෙන් අප රජයේ ඇති කැපවීම පිලිඹිබු කරන බවත්, නවෝත්පාදන පිළිගනිමින්, පීඩාවට පත්වන ජනකොටස් සඳහා සහය සපයමින් සහ තිරසාරබව අරමුණු කරගත් මූල්‍ය ප්‍රතිපත්තියකට අනුකූලව ක්‍රියා කිරීමෙන්, අද ඇති අභියෝග හෙට දින වර්ධනය සහ ප්‍රතිෂ්ඨාව වෙනුවෙන් අවස්ථා බවට පරිවර්තනය කර ගැනීමට අරමුණු කරන බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාළ කළාය.

මෙම වැඩසටහන ඇමතූ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නැගෙනහිර ආසියාව සහ සාමූහික සාගර කලාපීය කාර්යාලයේ උප කලාපීය අධ්‍යක්ෂ Myo Zin Nyunt මහතා සඳහන් කළේ,

“තාක්ෂණික උපදෙස්, පුහුණු කිරීම සහ ප්‍රතිපත්ති සංවාදයන් සඳහා අවකාශය ලබාදීම මඟින්, මෙම පහසුකම ශ්‍රී ලංකාව වැනි රටවලට වඩා හොඳ අයවැය තීරණ ගැනීමට මෙන්ම, සේවාවන් වඩා කාර්යක්ෂමව ලබාදීමට සහ තරුණයන් ඇතුළු රටේ පුරවැසියන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් කිරීම සඳහා උපකාරී වන බවයි.”

මෙම අවස්ථාව ඇමතූ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා යුරෝපා සංගමයේ තානාපති Carmen Moreno මහත්මිය විසින් සමාජයීය අංශයන් සඳහා වියදම් සැපයීමේ වැදගත්කම අවධාරණය කළ අතර ඇය සඳහන් කළේ මෙවන් අයෝජනයන් නොමැතිව සමාජයන්ට අනාගත අභියෝග ජය ගැනීම අසීරු වනු ඇති බවයි.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ කාර්යාල ප්‍රධානී Marc-André Franche, UNICEF ශ්‍රී ලංකා නියෝජිත Emma Brigham, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, Bangkok පිහිටි යුරෝපා සංගමයේ සහ UNICEF කලාපීය කාර්යාලවල නිලධාරින් සහ ශ්‍රී ලංකාවේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය