අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස ලබා ගැනීමට බලශක්ති ගබඩා කිරීමේ පද්ධති හදුන්වා දෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස ලබා ගැනීමට බලශක්ති ගබඩා කිරීමේ පද්ධති හදුන්වා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන එගොඩවිතාන මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (10) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළාය.

2030 වර්ෂය වන විට ජාතික විදුලිබල උත්පාදනය 70%ක් පුනර්ජනනීය ප්‍රභාවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක සකසා ඇති බවත් එම ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 2025/2030 පුනර්ජනනීය සංවර්ධන සැලැස්මට අනුව සුළං බලශක්තිය මෙගාවොට් 1264 සහ සූර්ය බලශක්තිය මෙගාවොට් 2071 ක් ලෙස දිගු කාලීන ජනන සැලසුමට යටත්ව විවිධ ප්‍රසම්පාදන ක්‍රම යටතේ පුනර්ජනනීය බලශක්ති වැඩි වශයෙන් ජාතික පද්ධතියට අවශෝෂණය කිරීමට සැකසුම් කර තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති උකහා ගැනීම උදෙසා ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පද්ධතිය පුළුල් කිරීමට ද කටයුතු කරමින් සිටින බවත් ආණ්ඩුව වශයෙන් ක්‍රියාත්මක කළ වැදගත් පියවරක් ලෙස පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස උකහා ගැනීමට බලශක්ති ගබඩා කිරීමේ පද්ධති හදුන්වා දීමට නියමිත යි.

දැනට පවතින ජල විදුලි බලාගාරවල ස්ථාපිත ධාරිතාව ප්‍රබල කිරීම සඳහා ද අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් එක් එක් පාසල්වල තත්ත්වය පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබා දෙන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වතු ආශ්‍රිත පාසල් දරුවන්ගේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් ලබා දීම කෙරෙහිත් රජයේ අවධානය යොමු කර තිබෙනවා

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත් එක් එක් පාසල්වල තත්ත්වය පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

වතු ආශ්‍රිත පාසල් පිළිබඳ පාර්ලිමේන්තුවේ අද (09) පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

දිට්වා සුළිකුණාටුවෙන් වතු ආශ්‍රිත පාසල්වලට සිදුව ඇති හානිය සහ ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත්, වතු ආශ්‍රිත පාසල්වල ඉඩම් පිළිබඳ පවතින ගැටලු, ගුරු පුරප්පාඩු, පාසල් සංවර්ධනය සහ නැවත ඉදිකිරීම් ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. දිට්වා සුළිකුණාටුවෙන් පූර්ණ හානි, අර්ධ හානි සිදු වූ සහ වෙනත් ස්ථානයකට ගෙන යායුතු ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත් පාසල් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් පාසල් යළි යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් රජය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව අදාල ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

දිට්වා සුළිකුණාටුවෙන් පසු පළාත් සභා හරහා විවිධ තොරතුරු ලබා දීමට නිලධාරීන්ට සිදුව තිබෙනවා. ඒනිසා අමාත්‍යංශය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කර දත්ත ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. හානියට පත් පාසල්වල දරුවන් වෙනත් පාසල්වලට අනියුක්ත කළ පමණින් සියල්ල නිවැරදි වෙන්නේ නැහැ. ඒ දරුවන් නිවැරදව පාසලට පැමිණෙනවාද?, අධ්‍යාපනය ලබනවද? , ඔවුන්ට මුහුණ දෙන්න වෙන දුෂ්කරතා මොනවද? කියලා පසුවිපරමක් සිදු කරන්න අවශ්‍යයි.

සමහර පාසල්වලට දරුවන් අනියුක්ත කළත් දරුවන් පාසලට ගිහින් නැහැ ඒ දරුවන්ට මොකක්ද වුණේ කියලා කඩිනමින් සොයන්න. ඒ වගේම තාවකාලික පාසල් ඉදිකිරීම කෙරෙහිත් කඩිනම් අවධානය යොමු විය යුතුයි. සියලු දරුවන් වෙනුවෙන් රජයක් ලෙස අපි මැදිහත් වෙනවා, නමුත් ඒ වෙනුවෙන් නිවැරදි දත්ත අපිට අවශ්‍යයි. වතු ආශ්‍රිත පාසල් සඳහා වෙනම නිලධාරියෙක් සිටිනවා ඒ අය සම්බන්ධිකරණය කරගෙන නිවැරදිව දත්ත ලබා ගන්න කටයුතු කරන්න. පළාත් අධ්‍යාපන අධ්‍යකෂකවරුන් වගේම පළාත් සභා නිලධාරින්වත් මේ සඳහා නිවැරදිව සම්බනධිකරණය කළ යුතුයි. මන්ත්‍රිවරුන් ලෙස ඔබත් මේ වෙනුවෙන් මැදිහත් වෙන්න අවශ්‍යයි.

දෙමළ මාධ්‍ය පාසල් සඳහා පවතින ගුරු පුරප්පාඩු සඳහා වෙනම දමිළ ගුරුවරුන් පුහුණු කරන්න අපි කටයුතු කරමින් යනවා ඒ වගේම මෙවර ගුරුවරුන් බඳවා ගැනීමේදි පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සියයට පනහක් සම්පූර්ණ කරන්න කටයුතු කරනවා. පත්වීම් ලබා දුන්නම නියමිත පාසලේ වසර පහක් සේවය කළ යුතුයි.

වතු ආශ්‍රිත පාසල් දරුවන්ගේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීම වගේම වෘත්තීය අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් ලබා දීම කෙරෙහිත් රජයේ අවධානය යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න, සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන බලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ධීවරයින් සහ ව්‍යවසායකයින් නගා සිටුවීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ ධීවර ප්‍රජාව සහ ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් යළි නගා සිටුවීම සඳහා රජය විසින් පුළුල් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

දිට්වා අපදා වෙනුවෙන් රජය ලබා දී ඇති සහන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින් අද (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කරදිය සහ මිරිදිය ධීවරයින් වෙනුවෙන් විශේෂ සහන සැලසීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන් විනාශ වූ ධීවර යාත්‍රා වෙනුවට නව යාත්‍රා ලබා දීමටත්, අර්ධ වශයෙන් හානි වූ යාත්‍රා අලුත්වැඩියා කර දීමටත් කටයුතු යොදා තිබේ. තවද, සුදුසුකම් ලත් ධීවරයින් සඳහා අවශ්‍ය ධීවර දැල් ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

දිට්වා හේතුවෙන හානි වූ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු යළි ආරම්භ කිරීම සඳහා වාර්ෂිකව 3%ක සහන පොලී අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙනවා. රුපියල් මිලියන 10,000ක මුළු ප්‍රතිපාදන සහිත මෙම වැඩසටහන බැංකු 15ක් හරහා ක්‍රියාත්මක වෙනවා, 2026 අප්‍රේල් 28 දින වන විට ව්‍යවසායකයින් 2,800ක් සඳහා රුපියල් මිලියන 3,812ක ණය මුදල් මේ මගින් ප්‍රදානය කර තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර කඩිනමින් සක්‍රීය කිරීමේ අරමුණින් මාස 6ක සහන කාලයක් සහිතව උපරිම වසර 3ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දීමටත් කටයුතු කළා. ඒ වගේම මේ ණය අයදුම් කිරීමේදී ව්‍යාපාරය කුණාටුවට පෙර සක්‍රීයව පැවති බවට සහ හානියට පත් වූ බවට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ මෙහිදී අනිවාර්යයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත, බලපත්‍රලාභී බැංකු මගින් 2026 ජනවාරි 31 දින දක්වා ණය ආපසු ගෙවීම අත්හිටුවීමට සහ දඩ පොලී අය නොකිරීමට පියවර ගත් බවත්, විපතට පත් ව්‍යවසායකයින් සඳහා වන්දි ගෙවීමේ කටයුතු මේ වන විටත් අදාළ අමාත්‍යාංශවල චක්‍රලේඛ සහ ආපදා සහන මාර්ගෝපදේශවලට අනුකූලව සිදුවෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පළමු අදියර අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එළිදක්වයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

“සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් රට තුළ ඇතිකිරීමට නිවැරදි දත්ත කළමනාකරණයක් මත තීන්දු තීරණ ගත යුතුයි.”

දරුවන්ගේ අනාගතය සඳහා වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත්,ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක මත පදනම්ව තීරණ ගැනීම සිදු කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අරලියගහ මන්දිරයේදී 2026.06.06 දින පැවති ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර (NEMIS) සහ (ඊ-තක්සලාව) ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය සඳහා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුනු පහ යටතේ ඇති මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලනය යන ක්ෂේත්‍රයන්හි කටයුතු වඩාත් කාර්යක්ෂම සහ සඵලදායී ලෙස සිදු කිරීම සඳහා මෙම ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය නිර්මාණයකර ඇත.

මින් පෙර එක් එක් පළාත් විසින් එකිනෙකට වෙනස් වූ තොරතුරු පද්ධති භාවිතා කිරීම සිදු වූ අතර මෙම තොරතුරු පද්ධතිය හරහා ජාතික පාසල් සහ පළාත් පාසල්වල සියලු තොරතුරු එකම පද්ධතියක් මගින් ක්‍රියාත්මක වීම සිදු කරනු ලබයි.ඒ අනුව එහි පළමු අදියර මානව සම්පත් මොඩියුලය එළිදැක්වුණි. එම පළමු මොඩියුලය යටතේ සබරගමුව, බස්නාහිර, දකුණ හා වයඹ යන පළාත් හතරක ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙම පද්ධතිය යටතේ සිදු කරනු ලබන අතර පසුව එය මුළු දිවයිනටම බලපාන පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.

ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන ඉතිරි මොඩියුල තුළින් පාසල්වල සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි මානව සම්පත් කළමනාකරණය කිරීමට සැලසුම් සකස් කර ඇත.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපනයෙහි ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකාය, පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්, තාක්ෂණික කණ්ඩායම් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන සියලුම පාර්ශවකරුවන් ලබා දුන් සහයෝගය මත සිදුකර ඇත.

එමෙන්ම “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ (LMS) නියමු ව්‍යාපෘතියද මීට සමගාමීව එළිදැක්වූ අතර එමගින් ඩිජිටල් ඉගෙනුම් අවස්ථා පුළුල් කරමින් සිසුන් උදෙසා ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට මඟ පාදනු ඇත.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අධ්‍යාපන පද්ධතියේ එක් එක් අංශ එකිනෙකින් වෙන් වී, හුදෙකලා ලෙස ක්‍රියාත්මක වීම වෙනුවට, අප අධ්‍යාපන පරිපාලනය, අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලිය සහ අධ්‍යාපනික විෂය අන්තර්ගතය යන සියල්ල එකිනෙකට බද්ධ කරමින් සම්බන්ධ කර තිබෙනවා. අප ආරම්භ කළ එම කර්තව්‍යය සුළුපටු දෙයක් නෙමෙයි.

අපේ රජයට ඩිජිටල්කරණය අතිශයින්ම වැදගත් දෙයක්. වෙනස් වන ලෝකයත් එක්ක අපිත් වෙනස් වෙමින් ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ වගේම අප විශ්වාස කරනවා රජයේ සේවාවන් වඩා කාර්යක්ෂමව, විනිවිද භාවයෙන් ජනතාවට ලබාදීමටනම් ඩිජිටල්කරණය අවශ්‍යයි කියලා. විශේෂයෙන්ම ඉදිරියේදී කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු තුළ දී ද අපිට නිවැරදි දත්ත අවශ්‍ය වනවා. මෙම ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඔස්සේ අපට නිවැරදි දත්ත ලබාගත හැකිවෙනවා සේම, අධ්‍යාපනයේ විනිවිද භාවය සහ ගුණාත්මක භාවය තහවුරුකරගත හැකි වෙනවා.

ජාතික පාසල් සියල්ලම මේ පද්ධතියට ඉතාමත්ම ඉක්මනින් ඇතුළත් කරනවා. දැනටමත් පළාත් කිහිපයක පාසල්වල ගුරුවරුන්ගේ තොරතුරු මෙයට ඇතුළත් කරලා තියෙනවා. මේ හරහා අධ්‍යාපන සේවාවට අයත් ගුරුවරුන් බඳවාගැනීම්, ගුරු මාරු, උසස් වීම් කටයුතු වැනි දෑ ඉතාමත් විනිවිද භාවයෙන් හා කාර්යක්ෂමව කරගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.

රජයේ සේවාවන් අප මේ විදියට ඩිජිටල් ක්‍රමයට ලක්කරනවානම්, ඒවා භාවිතා කිරීමට දැනුම තියෙන පුරවැසියන් අපට බිහිකළයුතු වෙනවා. එහි ප්‍රධානතම වගකීම පැවරෙන්නෙ අධ්‍යාපන ක්ෂේත්‍රයට. ඒ නිසා තමයි (ඊ-තක්සලාව) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා මානව සම්පත ගොඩනැගීමේ එම ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කරලා තියෙන්නෙ.

විශේෂයෙන්ම ඩිජිටල්කරණය කියන්නේ ගුරුවරයා වෙනුවට කරන ආදේශනයක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ සහසම්බන්ධතාවයක් තියෙන දෙයක්. පන්ති කාමරවල කොපමණ තාක්ෂණික උපකරණ තිබුණත් ඉගෙනීම් කටයුතු නිකන් සිද්ධ වෙන්නෙ නැහැ. දරුවන් සමග අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාකරන්නෙ ගුරුවරයා. එම නිසා ඩිජිටල්කරණය ගුරුවරුන් මෙවලමක් කරගත යුතුයි. ඒකෙන් ගුරුවරයාගේ වැදගත්කම තවදුරටත් වැඩිකරනවා.

අප ඩිජිටල්කරණය භාවිත කරමින් පහසුකම් අඩු පාසල්වලට උපරිම ගුණාත්මක භාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබාදෙන්නේ කෙසේද, සෑම පාසලකටම හොඳ ගුරුවරුන්ගේ ආභාෂය ලබාදෙන්නේ කොහොමද, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනයේ ඉහළට යාම සඳහා අවකාශය සලසා දෙන්නේ කුමන ආකාරයටද යන ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. මානවවාදී ශිෂ්ට සම්පන්න, අනාගතය ගැන අදහසක් තියෙන පුරවැසියන් බිහිකරන ගමනක් අප ඩිජිටල්කරණය ඔස්සේ යාමට සැලසුම් කරමින් ඉන්නවා.

එමෙන්ම මෙහිදී ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පළමු අදියර නිර්මාණය සඳහා දායකත්වය දැක්වූ සබරගමුව, නැගෙනහිර හා ඌව පළාත් නියෝජනය කළ නිලධාරීන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සඳහා සමරු පලක ගරු අග්‍රාමාත්‍යතුමිය අතින් ප්‍රධානය කරන ලදි.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.මීට අමතරව පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, ගුවන් හමුදාපතිවරයා, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් ද, අග්‍රාමාත්‍ය කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි උසස් නිලධාරීන් පිරිසක් ද මීට සහභාගී වූහ. එමෙන්ම අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම පිළිබඳ කාර්ය සාධක බළකායේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ මහා නායක ධූරයෙන් පිදුම් ලබයි.

පෑලියගොඩ ගංගාරාමාධිපති අග්ගමහා පණ්ඩිත සද්ධම්මජෝතිකධජ ධම්මසේනාපති භාෂාන්තර විශාරද අතිපූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආරියවංස සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක ධූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උළෙල අද ( 06 වැනි දා) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක, අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යතුමිය විසින් වල්පොළ විමලඥාන මහනායක ස්වාමීවහන්සේ වෙත මහා නායක පදවිය වෙනුවෙන් වූ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සිදු කරන ලදී.

මෙම අවස්ථාට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සහ ගිහි දායක දායිකාවන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලයයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලය බවත් ඒ නිසා ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය

විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය , පරිපාලන නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග අද (05) පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

මෙතෙක් විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණැගල ශාඛාව තුළ මතුව පැවත් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමේ ගැටලුව වෙනුවෙන් ඉඩමක් ලබා දීමටත් දේශනශාලා , යටිතලපහසුකම් සහ සනීපරාක්ෂක ගැටලූ ඇතුළු අනෙකුත් ගැටලුවට ද ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

විවෘත විශ්ව විද්‍යාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සමග ඇති ව තිබු ගැටලුව විසඳීමට අවශ්‍ය ඉඩම ලැබී තිබෙනවා නම් ඉදිරි කටයුතු සැලසුම් කරන්න අවශ්‍යයි. ප්‍රතිපාදන ලබා ගැනීම සහ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධතියේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලයයි. ඒ නිසා ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය ,

අධ්‍යාපන ඩිජිටල්කරණය කිරීම අද අපි නිල වශයෙන් ආරම්භ කළා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර වෙලා නැහැ. 2027 දී 6 වන ශ්‍රේණියට සහ දෙවන ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. මේ වසරේ ආරම්භ කළ පළමු වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය දෙවන සහ තෙවන වාර පොත් සියල්ල අපි නිකුත් කර තිබෙනවා. ලබන වසරට අදාල ගුරු පුහුණුවත් අපි ආරම්භ කරනවා. ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් අපි රාජ්‍ය සේවා කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් පසු අපිට ඒ සඳහාත් අනුමැතිය හිමිවුණා. ඒ අනුව මේ වසර තුළ ඒ ගැටලුවටත් විසඳුමක් ලබා දෙන්න සූදානම්. ඒ වගේම විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසදන්න අපිට කැබිනට් අනුමැතිය හිමිවෙලා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විදුහල්පතිවරුන්ට කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නය විසඳිය හැකි වන බවද සඳහන් කළාය.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා, කුරුණගල දිස්ත්‍රීක් මහජන නියෝජිතයින්, විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අනුෂ්ක බණ්ඩාර මහතා ඇතුළු අචාර්යවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ .

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය