අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති, ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්.

ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් Husain Al Musallam මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සැප්තැම්බර් 08 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් Husain Al Musallam ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව සහ අභිවෘද්ධිය සඳහා රජය සහ ක්‍රීඩා ක්ෂේත්‍රය අතර සබඳතා ගොඩ නඟා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළේය. එමෙන්ම ක්‍රීඩා නීතියට අදාළව පවතින ගැටලු විසඳීමේදී අදාළ නීති රෙගුලාසි හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී සෞඛ්‍යට මෙන්ම පාසල් දරුවන්ගේ සහ ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම සහ ක්‍රීඩාවේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය පිළිබඳ ව සඳහන් කළාය. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඉදිරියේදී සාකච්ඡා කර ජල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළාය.

මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාද සහභාගි විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරියගේ ශුභාශිංසන පණිවුඩය

ශ්‍රී ලංකාවාසී මෙන්ම ලොව පුරා වෙසෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට, මුහම්මද් නබි නායකතුමන්ගේ උතුම් ජන්ම දිනය සමරන මෙම ශුද්ධ වූ දිනයේදී, මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

මුහම්මද් නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, හුදෙක් ආගමික රාමුවකට සීමා නොවූ, සමස්ත මානව වර්ගයාගේ යහපත උදෙසා වූ විශ්වීය මානුෂීය ප්‍රතිපත්ති මාලාවකි. විශේෂයෙන්ම, සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, පීඩිත ජනයා කෙරෙහි දක්වන කරුණාව සහ පාලකයන්ගේ වගවීම පිළිබඳ එතුමන්ගේ ඉගැන්වීම්, වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළ වේ.

එතුමන්ගේ පණිවිඩය, එකල පැවති අසාධාරණ, ගෝත්‍රිකවාදී සහ දූෂිත සමාජ ක්‍රමයට එරෙහිව නැගුණු විප්ලවීය ප්‍රකාශනයක් විය. එය, මිනිසා විසින් මිනිසාව සූරාකෑමෙන් තොර, සියලු දෙනාටම ගෞරවයෙන් ජීවත් විය හැකි සමාජයක් පිළිබඳව වූ උදාර දැක්මකි. අප රටක් ලෙස නව සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන මේ මොහොතේ, දූෂණයෙන් හා විෂමතාවයෙන් තොර සාධාරණ පාලනයක් පිළිබඳ එම ආදර්ශයන්, අපට මහත් ශක්තියක් සහ පෙළඹවීමක් සපයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රගමනය උදෙසා මුස්ලිම් ප්‍රජාව දක්වා ඇති ඓතිහාසික දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන අතර, මෙම උතුම් ඉගැන්වීම් ආදර්ශයට ගනිමින්, සියලු ජනතාවට සාධාරණය ඉටු වන, මානුෂීය සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

සැමට සාමය සතුට සපිරි මිලාද් උන්-නබි දිනයක් වේවා!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 සැප්තැම්බර් 05

අගමැතිනිය සහ ඉතාලියේ නියෝජ්‍ය මහලේකම් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria Tripodi මහත්මිය අතර හමුවක් සැප්තැම්බර් 4 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

දේශපාලන උපදේශන සඳහා අවස්ථාවැඩි කිරීම, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික හා අධ්‍යාපනික හුවමාරු ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ දූෂණයෙන් තොර ස්ථාවර ජාතියක් ඉදිරියට ගෙන යාම සඳහා වන වත්මන් රජයේ වැඩපිළිවෙල පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය. යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ඉතාලිය සමඟ පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින් ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දීම පිලිබඳවද අදහස් දැක්වීය. Tripodi මහත්මිය ද ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය පැසසුමට ලක් කළ අතර, වත්මන් වැඩපිලිවෙල සඳහා ඉතාලියේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovig ඇතුළු ඉතාලි රජය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න එම අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ, ඉසුරිකා කරුණාරත්න යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

’වගකිවයුතු රජයක් ලෙස, දරුවන්ගේ අයිතිවාසිකම් ඉහළ නැංවීම හා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය යොදාගැනීමට සහතික විය යුතුයි.’ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ළමයින් සඳහා මූල්‍ය නියෝජනයේ වැදගත්කම අවධාරණය කරමින් අග්‍රාමාත්‍යතුමිය පවසන ලද්දේ "රජයේ අයවැය, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සඳහන් කරන ළමා අයිතිවාසිකම් හා ළමා සුභසාධනය සත්‍යාපනය කිරීම සඳහා පවතින බලවත්ම සාධකයක් බවත්. එමෙන්ම වගකිවයුතු රජයක් ලෙස, දරුවන්ගේ අයිතිවාසිකම් ඉහළ නැංවීම හා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය යොදාගැනීමට සහතික විය යුතු බවයි.

අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ “Financing What Matters: Strengthening Public Financial Management for Inclusive Social Outcomes for Children and Families” මැයෙන් සැප්තැම්බර් මස 03 හා 04 දෙදින කොළඹ NH Collection හෝටලයේ පැවැත්වෙන EU-UNICEF Public Finance Facility නම් කළාපීය දැනුම් හුවමාරු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. යුරෝපා සංගමයේ සහයෝගයෙන් UNICEF ආයතනය සංවිධානය කළ මෙම වැඩසටහන ආසියාවේ රාජ්‍ය මූල්‍ය කළමණාකරන, අයවැය හා වියදම් කළමනාකරණ ප්‍රතිපත්ති සම්පාදකයින් හා මෙම ක්ෂේත්‍රයේ අන්තර්ජාතික පාර්ශවකරුවන් අතර දැනුම හුවමාරු කර ගැනීමට සංවාද අවකාශයක් ලෙස ක්‍රියාත්මක වේ.

අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් කියා සිටියේ, අප රජයේ සියළුම ප්‍රතිපත්තීන් දරුවන්ට ඉහළම අවශ්‍යතාව පිළිඹිඹු කරනවා. අපගේ රජය දරුවන් තබා ඇත්තේ අපගේ වගකීම් අතර හදවත ලෙසයි. එයින් වැඩි වශයෙන්ම පීඩාවට පත්වන දරුවන් ඇතුළු වැඩි අවදානම් පිරිසට ඇතිවන ආර්ථික අභියෝගයන්ගේ බලපෑම පිළිබඳ දැනුම්වත් භාවයෙන් යුතුව, රාජ්‍ය මුල්‍ය කළමණාකරණයේ දී ප්‍රමුඛතාවක් ලබා දෙමින් කටයුතු කරන බවත්ය.

මේ අනුව අප විසින් 2025 වර්ෂයේ අයවැය සඳහා ළමුන් කේන්ද්‍ර කරගත් විශේෂ මූල්‍යමය ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දී ඇත. නිවාසගත හෝ භාරකරුවන් භාරයේ සිටින දරුවන් සඳහා මාසික රු. 5,000ක දීමනාවක් ලබාදීම සඳහා රු. බිලියනයක් වෙන් කර ඇති අතර එයින් රු. 2,000ක් ළමයාගේ බැංකු ගිණුමට බැර කරනු ලබන අතර රු. 3,000ක් දරුවාගේ නඩත්තුව සඳහා ලබාදීම, ධාරිතාව වැඩි කිරීම, ව්‍යුහගත පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා සහතිකලත් ළමානිවාස ආයතන 379කට රු. මිලියන 500ක් වෙන් කිරීම. එසේම, වයස අවු. 18 සම්පූර්ණ වී විවාහ වූ පසු දීර්ඝකාලීන ආරක්ෂාවක් සහතික කිරීම හා ස්ථාවර නිවෙස් ගොඩනැගීම සඳහා නිවාස ගත දරුවන්ට රු. බිලියනයක් වෙන් කිරීම සිදු කරනු ලැබ ඇති බවත්ය.

ඊට අමතරව, නිවාසගත දරුවන්ට අධිකරණයට ගමන් කිරීමට අවශ්‍ය ළමයින් සඳහා, ළමයින්ට උචිත ප්‍රවාහන පද්ධතියක් පිහිටුවීම සඳහා රු. මිලියන 250ක් වෙන් කර ඇත. ස්නායුගත ආබාධ සහිත ළමයින් (Neuro-Developmental Disabilities) (උදා: ඔටිසම්) සඳහා, ලේඩි රිජ්වේ ළමුන්ගේ රෝහලේ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රු. මිලියන 200ක් වෙන් කර ඇත. එමෙන්ම එම දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට ආකෘතිමය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා රු. මිලියන 250ක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.

මෙම අයවැය ප්‍රතිපාදන වෙන්කිරීම්, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා මෙතෙක් අයවැය තුළ ඉතිහාසගත වැඩිකිරීම වන අතර, අවදානම් තත්ත්වයන්ට ලක්වූ ළමයින් රැකදීම, පවුල් ශක්තිමත් කිරීම, සහ ශ්‍රී ලංකාවේ සැම ළමයෙකුට අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍යය සහ මානසික සහාය ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම වෙනුවෙන් අප රජයේ ඇති කැපවීම පිලිඹිබු කරන බවත්, නවෝත්පාදන පිළිගනිමින්, පීඩාවට පත්වන ජනකොටස් සඳහා සහය සපයමින් සහ තිරසාරබව අරමුණු කරගත් මූල්‍ය ප්‍රතිපත්තියකට අනුකූලව ක්‍රියා කිරීමෙන්, අද ඇති අභියෝග හෙට දින වර්ධනය සහ ප්‍රතිෂ්ඨාව වෙනුවෙන් අවස්ථා බවට පරිවර්තනය කර ගැනීමට අරමුණු කරන බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාළ කළාය.

මෙම වැඩසටහන ඇමතූ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නැගෙනහිර ආසියාව සහ සාමූහික සාගර කලාපීය කාර්යාලයේ උප කලාපීය අධ්‍යක්ෂ Myo Zin Nyunt මහතා සඳහන් කළේ,

“තාක්ෂණික උපදෙස්, පුහුණු කිරීම සහ ප්‍රතිපත්ති සංවාදයන් සඳහා අවකාශය ලබාදීම මඟින්, මෙම පහසුකම ශ්‍රී ලංකාව වැනි රටවලට වඩා හොඳ අයවැය තීරණ ගැනීමට මෙන්ම, සේවාවන් වඩා කාර්යක්ෂමව ලබාදීමට සහ තරුණයන් ඇතුළු රටේ පුරවැසියන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් කිරීම සඳහා උපකාරී වන බවයි.”

මෙම අවස්ථාව ඇමතූ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා යුරෝපා සංගමයේ තානාපති Carmen Moreno මහත්මිය විසින් සමාජයීය අංශයන් සඳහා වියදම් සැපයීමේ වැදගත්කම අවධාරණය කළ අතර ඇය සඳහන් කළේ මෙවන් අයෝජනයන් නොමැතිව සමාජයන්ට අනාගත අභියෝග ජය ගැනීම අසීරු වනු ඇති බවයි.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ කාර්යාල ප්‍රධානී Marc-André Franche, UNICEF ශ්‍රී ලංකා නියෝජිත Emma Brigham, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, Bangkok පිහිටි යුරෝපා සංගමයේ සහ UNICEF කලාපීය කාර්යාලවල නිලධාරින් සහ ශ්‍රී ලංකාවේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඩිජිටල් සහ නව්‍ය තාක්‍ෂණයන් උපයෝගී කර ගනිමින් කෘෂිකාර්මික අංශයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර තියෙනවා. - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2025 සැප්තැම්බර් 2 වැනි දින කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය විසින් සංවිධානය කරන ලද "කෘෂිකර්ම හා පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2025" (ISAE) අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

දේශගුණික ක්‍රියාකාරකම් සහ තිරසර බව සඳහා කෘෂිකාර්මික තාක්ෂණයන්හි නවෝත්පාදන මෙහෙයවීම යන්න මෙවර ISAE 2025 හි තේමාව වූ අතර, මෙම සම්මන්ත්‍රණය හරහා ගෝලීය කෘෂිකර්මාන්තය, තිරසාරත්වය සහ නැගී එන තාක්ෂණයන් යොදා ගැනීම මගින් උදාවන අවස්ථා මෙන්ම අභියෝග ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාවේ බහුවිධ පාර්ශ්වකරුවන්ට අවස්ථාව සලසයි.

මෙම සම්මන්ත්‍රණය මගින් දේශගුණික ක්‍රියාකාරකම් සහ තිරසර කෘෂිකාර්මික ක්‍රමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නව්‍ය, ප්‍රායෝගික සහ ක්‍රමානුකූල විසඳුම් සොයා ගැනීමට ශාස්ත්‍රඥයින්, පර්යේෂකයන්, වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සංවාද සහ සහයෝගීතාව ගොඩ නැගීම ද අපේක්ෂා කරයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"මෙම සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන තරුණ උපාධිධාරීන්ගේ සංසදය ඉතාමත් ප්‍රශංසනීයයි. අපගේ අනාගතය රඳා පවතින්නේ නව්‍යකරණයෙන්, දැනුමෙන් සහ සමාජ විඥානයෙන් යුතු තරුණ පරපුර මතයි. ඔවුන්ගේ අධ්‍යාපනය, කුසලතා සහ නායකත්වය ප්‍රවර්ධනයට ආයෝජනය කිරීම කියන්නේ ශ්‍රී ලංකාවට මෙන්ම ඉන් ඔබ්බට දේශගුණය විපර්යාසයන්ට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ආයෝජනය කිරීමක්.

කෘෂිකර්මාන්තය කියන්නේ ආහාර නිෂ්පාදන කිරීම පමණක්ම නොවේ. එයින් අදහස් කරන්නේ අපගේ ප්‍රජාවන්, අපගේ ආර්ථිකය සහ අපගේ පෘථිවිය ඉදිරියට පවත්වාගෙන යාමයි. නවෝත්පාදනය සඳහා අවස්ථාව සලසා දී, අවදානමට ලක්විය හැකි ජනතාවට සහාය වීම සහ තිරසාරත්වය සමඟ යමින් ප්‍රතිපත්ති පෙළගැස්වීම හරහා, දේශගුණික විපර්යාසයන්ගෙන් එල්ල වන අභියෝග අවස්ථාවන් බවට පරිවර්තනය කරගත හැකියි." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, ඇග්ස්ටාර් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති ඉන්දික ගුණවර්ධන මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ඒ. ජයන්ත, කෘෂිකර්ම පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී. වයි. ජයසිංහ, ආචාර්ය අවන්ති මහානාම, ආචාර්ය අනුෂ්ක බණ්ඩාර සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මෙරට නිල සේවා කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත Kunle Adeniyi මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්.

මෙම හමුවේදී Adeniyi මහතා සිය නිල සේවා කාලය තුළ UNFPA වෙත ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය අගය කළේය. ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරිය දැක්වූ නායකත්වය පිළිබඳව ඔහු විශේෂයෙන් සිය ස්තූතිය පළ කළ අතර, අරමුදලේ මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ හවුල්කරුවන් දැක්වූ වෘත්තීයභාවය සහ කැපවීම ද අගය කළේය. ශ්‍රී ලංකාව සමඟ UNFPA හි දිගුකාලීන සම්බන්ධතාවය අගය කළ අග්‍රාමාත්‍යවරිය, Adeniyi මහතාගේ නායකත්වය යටතේ සිදු කළ දායකත්වය අගය කළාය.

මෙම හමුවට දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ. UNFPA නියෝජිත පිරිසට සහකාර නියෝජිත ආචාර්ය දයානාත් රණතුංග මහතා සහ කාර්යාල ප්‍රධානී Phuntsho Wangyel මහතා ද, ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද ඇතුළත් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය