අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

“අපි දැඩි අභියෝගයකට මුහුණ දී තිබෙනවා, නමුත් ශ්‍රී ලංකාව ඇද වැටී නැහැ. අපේ ජනතාව ශක්තිමත්.” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ විනාශය නොතකා, ජනතාව විසින් පෙන්නුම් කරන ලද ශක්තිය සහ සහයෝගීතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. “අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ. අපේ ජනතාව ශක්තිමත්, ඒ තුළින් අපි මුහුණ දුන් සෑම අර්බුදයකින්ම ජය ගැනීමට හැකි වී තිබෙනවා,” දෙසැම්බර් 4 වන දින කොළඹ ICT රත්නදීප හෝටලයේ පැවති NASSCOM විධායක කමිටු සහ SLASSCOM සංගම් හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ඩිජිටල්-ආර්ථික සහයෝගීතාව, ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ ඉදිරි මාවත සාකච්ඡා කිරීම සඳහා සමාගම් 3,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ඉන්දියාවේ තාක්ෂණික කර්මාන්තයේ ඉහළ පෙළ ආයතනයක් වන NASSCOM සහ සාමාජික සමාගම් 350 කට අධික සංඛ්‍යාවක් සමඟ IT සහ BPM අංශය සඳහා වන ශ්‍රී ලංකා ජාතික මණ්ඩලයක් වන SLASSCOM සංගමය මේ අවස්ථාවට එක් විය.

රටේ මෑත කාලීන අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ සිය වාර්ෂික සංචාරයට එක් වූ NASSCOM නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරිය විසින් පැසසුමට ලක් කරන ලද අතර, ඔවුන්ගේ පැමිණීම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ නැවත ගොඩ නැගීම සඳහා පන්නරයක් ලබා දුන් බව පැවසුවා ය. නැවත පදිංචි කිරීම, ආපදාවලට මුහුණ දීම සඳහා පෙර සූදානම ශක්තිමත් කිරීම, ගංවතුර පාලනය සහ ප්‍රධාන යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ඇතුළත් ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා රජය, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව කෙටි කාලීන සහ දිගුකාලීන තක්සේරු ක්‍රියාමාර්ග ගෙන යන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළාය.

සාකච්ඡාව අතරතුර අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්ම ස්ථිරව පවතින බව අවධාරණය කළාය. රජය මධ්‍යම සහ දිගු කාලීන ඉලක්කයක් ලෙස 7% ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ඇති බවට සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, අපනයන විවිධාංගීකරණය සහ ඩිජිටල් ආර්ථිකය වේගවත් කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා පැමිණි තාක්ෂණික නියෝජිත පිරිසගේ සහයෝග අපේක්ෂා කරන බව ද අවධාරණය කළා ය. “ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීමට අපි කැපවී සිටිනවා. මේ ක්ෂේත්‍ර සඳහා අපි ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය බලාපොරොත්තු වෙනවා” අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

රජයේ ආයතන තුළ ඩිජිටල් පරිවර්තනයේ ප්‍රගතිය පිළිබඳ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනවාරි මාසයේදී දියත් කිරීමට නියමිත ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවත් එය ජනවාරි මාසයේදී දියත් කරන බවත් පැවසුවා ය. අනෙකුත් අමාත්‍යාංශ විසින් අදාළ ඩිජිටල්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත් ඉදිරි මාසවලදී ඔවුන්ගේ පද්ධති හඳුන්වා දීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

ආපදා තත්ත්වයන් පිළිබඳ සොයා බැලීම, සිතියම්ගත කිරීම සහ භූගෝලීය දත්ත ලබා ගැනීම සඳහා ඩ්‍රෝන යානා තාක්ෂණය ලබා දීමට ඉන්දියානු තාක්ෂණික සමාගම විසින් සිදු කරන ලද යෝජනාව අග්‍රාමාත්‍යවරිය විසින් පිළිගත් අතර ලේඛනගත කිරීම සහ කාලීන අධීක්ෂණය ඇතුළුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමට නියෝජිතයින් ඉදිරිපත් විය. පවතින තාක්ෂණයේ ඇති දුර්වලතා හේතුවෙන් මෙම වසරේ වර්ෂාපතනය පිළිබඳ නිසි පුරෝකථනයක් සිදු කිරීම සීමා වී ඇති බවත්, එම නිසා අනාගත ආපදා තත්ත්වයන් හොඳින් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ තාක්ෂණයන්හි ආයෝජන් සිදු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පිළිගත්තා ය.

රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, IT සහ BPM ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළ ගමනාන්තයක් බවට පත් කිරීමට අදාළ නියාමන රාමු, ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැහැදිලි කළා ය. මානව සම්පත සංවර්ධනය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ කුසලතා මුල් කරගත් රැකියා අවස්ථා පුළුල් කිරීමේ ජාතික සැලැස්ම හරහා 2030 වන විට IT සහ BPM අංශයේ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් බවට පත් ගැනීමට ශ්‍රී ලංකාව අරමුණු කරන බව ද අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළා ය. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම, ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සහ ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය වැනි ඒකාබද්ධ වැඩසටහන් හඳුන්වාදීම සම්බන්ධයෙන් රජය ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවද අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළාය.

මෙම නිල සංචාරය, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශය ශක්තිමත් කිරීම සහ ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සහ ගෝලීය තාක්ෂණ කර්මාන්ත සඳහා උපායමාර්ගික ව්‍යාප්ති වෙළඳපොළක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම අරමුණු කරගත් NASSCOM සහ SLASSCOM අතර දිගුකාලීන සහයෝගීතාවයක ප්‍රයත්නයක් වන අතර 2026 වසරේ දී NASSCOM තාක්ෂණික සහ නායකත්ව සංසදය SLASSCOM හි පැවැත්වීමට සමගාමීව සිදු විය.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා සහ SLASSCOM සහ NASSCOM හි නියෝජිතයින් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රජය සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වාදුන් ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සදහා පමණි.

රටේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් සිසු දරුවන්ට උපකාර කිරීම සඳහා මේ වන විට රටේ බොහෝ පිරිස් සහ සංවිධාන පැසසිය යුතු දායකත්වයක් ලබා දෙමින් පවතියි. එලෙස දායකත්වය ලබා දෙන දෙස්-විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය ආධාර භාර ගැනීමට රජය විසින් ගිණුම් අංක කිහිපයක් ද හඳුන්වා දී ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා පමණි. මූල්‍යමය ආධාර භාර ගන්නා වෙනත් සංගමයක හෝ පුද්ගලයකුගේ ගිණුම් අංක සඳහා මෙම අමාත්‍යාංශය එකඟතාවක් හෝ අනුමැතියක් ලබා දී නොමැති අතර එම මූල්‍යමය පරිත්‍යාගවල වගකීම අදාළ සංගම් හෝ පුද්ගලයන් විසින් දරනු ඇත. මෙම අසීරු අවස්ථාවේ ජනතාව විසින් සිදු කරන දායකත්වය අගය කරන අතර සිසුන් වෙනුවෙන් සිදු කරන මූල්‍යමය පරිත්‍යාගවලදී එහි වගකීම් සහගත බව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

රජයේ ගිණුම් තොරතුරු සඳහා පිවිසෙන්න : www.donate.gov.lk

ගිණුම් අංක:

1. US Dollar (USD)
Bank: Deutsche Bank Trust Company Americas, New York, USA
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 04015541
Routing Number: 021001033
SWIFT: BKTRUS33XXX

2. Euro (EUR)
Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 0000739854
IBAN: DE39500202000000739854
SWIFT: BHFBDEFF500

3. Pound Sterling (GBP) – Account 1
Bank: HSBC Bank Plc, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 39600144
Sort Code: 40-05-15
IBAN: GB48MIDL40051539600144
SWIFT: MIDLGB22XXX

4. Pound Sterling (GBP) – Account 2
Bank: Bank of Ceylon (UK) Ltd, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 88001249
Sort Code: 40-50-56
IBAN: GB89BCEY40505688001249
SWIFT: BCEYGB2LXXX

5. Japanese Yen (JPY)
Bank: MUFG Bank, Tokyo, Japan
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 653-0407895
SWIFT: BOTKJPJTXXX

6. Australian Dollar (AUD)
Bank: Reserve Bank of Australia
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 81736-4
BSB: 092002
SWIFT: RSBKAU2SXXX

7. Sri Lankan Rupees (LKR)
Account Name: Deputy Secretary to the Treasury
Account Number: 2026450
Bank: Bank of Ceylon
Branch Name : Thaprobane branch
Swift: BCEYLKLX

8. Sri Lankan Rupees (LKR)
Account Name: Deputy Secretary to the Treasury
Account Number: 014100130110432
Bank: People’s Bank
Branch: Union Place Branch
SWIFT: PSBKLKLX

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩනැගුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් කඩිනමින් සිදු කළ යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (04) දින අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩනැගුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙම වැඩපිළිවෙළේදී ගොඩගැසෙන කසළ ඉක්මනින් ඉවත් කර ගැනීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කෙරවලපිටිය පිහිටි භූමියෙන් අක්කර පහක ඉඩම ලබා දී ඇති බැවින්, ඒ අනුව දැනට ගොඩගැසෙන කසළ ගැටලුවකින් තොරව ඉවත් කර ගැනීමට හැකි බව කමිටුව තීරණය කරන ලදී. එම ඉඩමේ ගබඩා වන කසළ ක්‍රමවත්ව ඉවත් කිරීමටද එහිදී අදාළ ආයතන එකඟ විය.

මේ අවස්ථාවට නාගරික සංවර්ධන අමාත්‍ය එරංග ගුණසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණ ආරච්චි, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞශල්‍යා කුමාරි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන්ද, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන්ද, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ද, විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන්ද සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආපදාවෙන් අවතැන් වූ සියලු ජනතාවට ඔවුන්ගේ ජීවිත යළි නගාසිටුවීම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අපදාවට පත් ජනතාව වෙනුවෙන් කැප වී කටයුතු කරන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන වගේම ජනතාවටත්, සියලු විදේශිය රටවලටත් රජයේ ස්තුතිය පිරිනමනවා.

ආපදාවෙන් අවතැන් වූ සියලු ජනතාවට ඔවුන්ගේ ජීවිත යළි නගාසිටුවීම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවත්, අපදාවට පත් ජනතාව වෙනුවෙන් කැප වී කටයුතු කරන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධානවලට මෙන්ම මේ රටේ ජනතාවට සහ සියලු විදේශිය රටවලටත් රජයේ ස්තුතිය පිරිනමන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රට තුළ ඇති වූ හදිසි ආපදාතත්ත්වය පිළිබඳ අද (03) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාතය තුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.

අපේ රටේ ඉතිහාසයේ ඇතිවූ විශාලතම විපත් වලින් දරුණුම එකකට පසුගිය දින කිහිපය තුළ, අපට මුහුණදීමට සිදු වුණා. මේ විපතින් ජීවිත අහිමිවූණු, අවතැන්වුණු, දේපළ හානි සිදුවුණු සහ විවිධ අයුරින් විපතට පත්වූ සියලුම සහෝදර ජනතාව වෙත පළමුවෙන්ම මගේ සාතිශය සංවේගය පළකරනවා.

මේ ආපදාවෙන් නිවෙස්, ව්‍යාපාර, දේපල අහිමි ව අවතැන් වූ සියලු ජනතාවට ඔවුන්ගේ ජීවිත යළි නගාසිටුවීම උදෙසා රජයක් ලෙස කළ හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවත් මම මේ මොහොතේ සඳහන් කරන්න කැමතියි.

ඒ වගේම පසුගිය දින කිහිපය පුරා විශේෂයෙන්, අපේ රටේ රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් දැඩි වෙහෙසක් ගනිමින් විපතට පත්වූ අපේම සහෝදර ජනතාව ඉන් මුදවා ගැනීම සහ ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් තමන්ගේ උපරිම දායකත්වය ලබා දුන්නා. රාජ්‍ය නිලධාරීන් සමග එක්ව මේ කටයුත්තට උරදුන් (ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ) මහජන නියෝජිතයින් සියලු දෙනාටමත් මම මගේ විශේෂ ස්තුතිය පිරිනමන්න කැමතියි. විශේෂයෙන් මෙම අභියෝගයට මුහුණ දීමේදී , අපේ ජනතාව අතර තිබෙන එකමුතුකම, ධෛර්යය, කරුණාව, සහකම්පනය, එකිනෙකාට උදවු කරගැනීම වගේ ගුණාංග අපට දකින්න ලැබුණා. එය අපට මේ මෙහෙයුම ඉදිරියට ගෙනයාමට තව තවත් ශක්තියක් වනවා.

මෙම අපදාවෙන් අනතුරට පත්වූ සහෝදර ජනතාව මුදවා ගැනීමටත්, ඔවුන්ව ආරක්‍ෂිත ස්ථාන වෙතගෙනයාමටත් දැඩි ලෙස වෙහෙසී කටයුතු කළ, තවමත් ඒ මෙහෙයුමේ රැඳී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, ඇතුළු රාජ්‍ය නිලධාරීන්, හා සියලුම හදිසි සහන කණ්ඩායම් වෙත මම මගේ ආචාරය පුදකරන්න කැමතියි.ඒ වගේම තවත් අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට තමන්ගේ ජීවිතය බිළි දුන් අවස්ථාත් තිබෙනවා, එය පහසුවෙන් දකින්න නොලැබෙන වීරත්වයක්. ඒ සියළු දෙනාම නැවත නැවතත් මම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මුදාගැනීමේ මෙහෙයුම් අතරතුර වෙන්නප්පුව ලුණුවිල ගින් ඔයේදී අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් නියමු Wing Commander නිර්මල සියඹලාපිටියට වගේම ගංවතුර පාලනය කිරීම සඳහා චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ කටයුතුවල යෙදී සිටියදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනාටත් මම මගේ ආචාරය පුදකරනවා. දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් තම ජිවිතය පරදුවට තැබූ ඒ වීරත්වය කිසිදා අමතක කළ නොහැකියි.

ඒ වගේම රජයේ ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය පාලන අධිකාරීන්, සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන් ද, මේ දුෂ්කර මොහොතේ සෘජුවම ක්ෂේත්‍රයේ සිට ක්‍රියාත්මක වනවා. ඔවුන්ගේ සේවයත් විශේෂයෙන් අගය කළ යුතුයි.

ඒ වගේම විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, දුරකථන සේවා සමාගම් වල කාර්ය මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන ආයතන වල ආයතන ප්‍රධානීන් සහ සේවක මහත්ම මහත්මීන් වෙත මම මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා.. ඔවුන් අත්‍යවශ්‍ය සේවා නැවත ස්ථාපිත කිරීම සදහා දැඩි කැපවීමකින් ක්‍රියා කරනවා.

අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, වෛද්‍යවරු, හෙද නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, Midwife ලා සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයන්ට ඔවුන්ගේ දැඩි කැපවීම වෙනුවෙන් මම මගේ ගෞරවය පිරිනමන්න කැමතියි.

ඒ වගේම විශේෂයෙන් සිහිපත් කළ යුතුයි, මේ මොහොතේ විපතට පත්වූවන් වෙනුවෙන් නොයෙක් ආකාරයෙන් උපකාර කිරීම සඳහා ඉදිරිපත් වන ස්වෙච්චා කණ්ඩායම්, තරුණ කණ්ඩායම්, කාන්තා කණ්ඩායම්, නොයෙක් තරුණ සමූහයන් සහ සංවිධාන, ආගමික ආයතන. මේ සියලු දෙනාම කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා විපතට පත්වූවන් වෙනුවෙන් තම දායකත්වය ලබාදෙනවා. දින ගණනාවක් තිස්සේ මේ මොහොතේත් ඔවුන් මේ ක්‍රියාන්විතය වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. රටක් විදිහට, ශ්‍රී ලාංකික ජාතියක් විදිහට අපට තිබෙන වටිනාම ශක්තිය තමයි මේ මිනිස්කම හඳුනන අනිකා කෙරෙහි සහකම්පනයෙන් යුතු මිනිස් හදවත්. ඒ සියලු දෙනා වෙත මේ මොහොතේ මම මගේ ආචාරය පුදකර සිටිනවා.

ඒ වගේම මේ අභියෝගාත්මක අවස්ථාවේ අප සමග එක්වූ, අපට ශක්තියක් වූ අපේ මිත්‍ර විදෙස් රටවල් මම විශේෂයෙන් සිහිපත් කරන්න කැමතියි. අපට අවශ්‍ය නොයෙක් උපකාර කරමින්, අවශ්‍යතා සොයා බලමින්, අවශ්‍ය සහන සේවා සැපයීම සඳහා රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වෙමින් ක්‍රියාකළ සියලුම විදෙස් රාජ්‍යන්ට වගේම ඒ රටවල් නියෝජනය කරන විදෙස් දූත මණ්ඩල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ටත් මේ මොහොතේ මම කෘතඥ වනවා. නොයෙක් අයුරින් ශ්‍රී ලාංකිකයින්ට උපකාර කිරීමට ඉදිරිපත්ව සිටින ජාත්‍යන්තර සංවිධාන රැසක් සිටීමත් මේ මොහොතේ අපට ශක්තියක්. ඔවුන්වත් මම විශේෂයෙන් සිහිපත් කරනවා.

ඒ වගේම විදෙස්ගතව සේවය කරන සහ විදෙස් රාජ්‍යයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන්ගේ නොයෙක් සංවිධාන. මේ මොහොතේ තමන්ගේ මාතෘ භුමිය පත්ව තිබෙන ව්‍යසනය දැකලා, ඔවුන් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ රට යළි ගොඩනැගීමටත්, විපතට පත්වූවන්ට දෙපයින් නැගී සිටීම සඳහාත් උපකාර කරමින් සිටිනවා. ලෝකයේ කොතැනක හිටියත් ඛේදවාචකයක් හමුවේ ශ්‍රී ලංකික සහෝදර ජනතාව වෙනුවෙන් ඒ මැදිහත්වීමට, කැපවීමට සහ සහයෝගයට මම විශේෂයෙන් ඒ සහෝදර ජනතාවට ස්තුතිවන්ත වනවා.

පවතින තත්ත්වය පිළිබඳව නිතරම නිවැරදි තොරතුරු යාවත්කාලින කරන මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සහ නිවැරදි විශ්වසනීය වගකිම්සහගත තොරතුරු බෙදාහරින පුරවැසියන්ටත් මම ස්තූතිය පළ කරනවා. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා මගපෙන්වීමට, නිවැරදි කළමනාකරණය සිදුකිරීමට වගේම ජනතාව වෙත ආරක්ෂාකාරී ලෙස මගපෙන්වන්නත් ඔවුන්ගේ සේවය අතිශය වැදගත් වනවා. ඒ සමගින් මා සිහිපත් කළ යුතු තවත් විශේෂ දෙයක් තිබෙනවා. ඇතැම් පුද්ගලයින් නොයෙක් වාසි වෙනුවෙන් මේ මොහොතේත් වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව අපට දකින්න තිබෙනවා. ඒ සියල්ල කළමනාකරණය කරගැනීමටත් වගකීම් සහගතව නිවැරදි තොරතුරු බෙදාගන්නා ඔබේ සේවය අපට අතිශය වැදගත් වනවා.

ඒ වගේම මෙම හදිසි අවස්ථාව තුළ සෑම අංශයක්ම සම්බන්ධීකරණය කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා.

විභාග කොමසාරිස් ජනරාල්තුමියට, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන්ට සහ විභාග දෙපාර්තමේන්තුවේ සම්ස්ත කාර්ය මණ්ඩලයට ද මගේ කෘතඥතාව පළ කරනවා. විභාග පත්‍රිකා ආරක්ෂා කිරීමට, සම්පූර්ණ කරන ලද පිළිතුරු පත්‍ර ආරක්ෂා කිරීමට, විභාග මධ්‍යස්ථාන සුරක්ෂිත කිරීමට සහ විභාග ක්‍රියාවලියේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට, ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද ඔවුන් දරන නොපසුබට උත්සාහය ඔවුන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම පිළිබඳ සැබෑ සාක්ෂියක් වනවා.

මේ අවස්ථාවේ මම සිහිපත් කළ යුතුයි තලවකැලේ සුමන මහා විද්‍යාලයේ පවත්වාගෙන යන ප්‍රාදේශීය එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයේ සහකාර සම්බන්ධීකරණ නිලධාරිතුමා රාජකාරියේ නිරතව සිටියදී ඔහුගේ පවුලේ බිරිද, දරුවන් ඇතුළු සියලු දෙනා එම ප්‍රදේශයේ සිදු වූ නාය යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. එය ඉතා සංවේගජනක සිදුවීමක්.

ඒ හා සමානව, අපගේ පාසල් ආරක්ෂා කිරීමට, බලපෑමට ලක් වූ පවුල්වලට සහාය වීමට සහ විභාග කටයුතු බාධාවකින් තොරව සිදු කරන බව සහතික කිරීමට දිවා රෑ නොබලා වැඩ කළ ගුරු - විදුහල්පති සහ කාර්ය මණ්ඩලය, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ සියලුම පළාත් සහ දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන්ට මම මගේ අවංක කෘතඥතාව පළ කරනවා. අපදාව මධ්‍යයේ වුවද, ඔබගේ කැපවීම ආදර්ශමත් වනවා.

සහන කටයුතු සම්බන්ධීකරණය කළ, වේගවත්ව සන්නිවේදනය කරමින් තොරතුරු කළමනාකරණය කළ සහ සෑම අභියෝගයකටම ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මගේ ගෞරවය පුද කරනවා.

උසස් අධ්‍යාපන අංශයේ, වෘත්තීය අධ්‍යාපන අංශයේ සහ සියලුම අනුබද්ධ ආයතනවල ආයතන ප්‍රධානීන්ට සහ කාර්ය මණ්ඩලයට සිය දායකත්වය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. මෙම අර්බුදය තුළ සම්පත්, පහසුකම් සහ පුහුණු කාර්ය මණ්ඩලය සැපයීමට ඔබගේ සහයෝගය, නම්‍යශීලීභාවය සහ සූදානම සැබෑ ජාතික සහයෝගීතාවය පිළිබිඹු කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කළ යුතුයි විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් දැක්වූ සහයෝගය පිළිබඳව.

මෙම කාල පරිච්ඡේදය තුළ අප දැරූ වැදගත්ම වගකීමක් වූයේ අපගේ සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනය සහතික කිරීම සහ මානසිකව ඔවුන් යථාවත් කිරීමයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයක් ලෙස අප වගකීම් සහගතව පෙනී සිටිනවා

අමාත්‍යාංශ, දිස්ත්‍රික්ක, පළාත්, පාසල් සහ විශ්ව විද්‍යාල හරහා සිදු කරන මෙම සාමූහික උත්සාහය විසින් අපේ අධ්‍යාපන පද්ධතිය හුදෙක් පද්ධතියක් පමණක් නොව එකම පවුලක් බව ඔප්පු කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන්, මෙම දැවැන්ත ජාතික කර්තව්‍යයට දායක වූ සෑම පුද්ගලයෙකුම මම අගය කරනවා.

සැමවිටම අප පවසන පරිදි, අපේ ශක්තිය අපේ රටේ පුරවැසියන්. ඔවුන්ගේ සුවිශේෂී කාරුණික හදවත්. අනිකා වෙනුවෙන් සහකම්පනයෙන් යුතුව ඕනෑම අභියෝගයකට මුහුණදෙන උදාර මිනිස්කම් සහිත ඒ පුරවැසියන්ගේ හදවත් ගැන අපි නැවත නැවතත් ආඩම්බර වෙනවා. මහා විපතක් ඉදිරියේත්, ප්‍රාණවත්ව, සක්‍රියව, මිනිසත්කමින් යුතුව, කාරුණිකව වෙහෙසෙන ඒ සියල්ලන් රටක් වශයෙන් අපේ ශක්තිය කුමක්දැයි මුළු ලොවටම කියා දෙමින් සිටිනවා.

තමන්ගේ සියලු අසීරුතාවයන් අතරත් “මම මට පුළුවන් දෙයක් දෙනවා” කියමින් පැමිණ පැනඩොල් පැකට් දෙකක් පරිත්‍යාග කළ ඒ “අම්මා”ගේ සහකම්පනය, අපේ ජාතියේ කරුණාව, උදාරකම, සහ එකමුතුකම මනාව පෙන්වන උදාහරණයක්.

මේක අසීරු මොහොතක්. අසීරුවෙන් ජයගත යුතු අභියෝගාත්මක ගමනක් අප ඉදිරියේ තිබෙනවා. එකිනෙකා කෙරෙහි කරුණාවෙන්, ආදරයෙන්, සහ අවබෝධයෙන් කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ජීවිත අහිමිවූ සියල්ලන් වෙනුවෙන් අපේ හදවත් වල නැගෙන වේදනාව සහ කම්පනය කිසිදා අපේ හදවතින් ඈත් නොවේවි. නමුත් අපි ඉදිරියට යායුතුමයි. මේ දැවැන්ත ව්‍යසනයෙන් හිස ඔසවා නැගී සිටිය යුතුමයි. එකමුතුකමින්, ධෛර්යයෙන්, අලුත් ආකල්පවලින්, යුතුව අලුත් පණක් සහිතව අපි නැගී සිටිය යුතුමයි.

මේ මොහොතේ රජය විසින් ඉටුකරන භාරධුර කාර්යය කෙරෙහි විශ්වාසය තබා ඒ සමග එකතුවන සියලු දෙනාටම මම නැවත වරක් ස්තුතිවන්ත වනවා. ඒ වගේම මේ මොහොතේ සියලු පක්ෂ පාට පසෙක දමා මේ රට යලි ගොඩනැගීම වෙනුවෙන් එකතුවී වැඩ කරමු කියන ඉල්ලීමත් මම මේ මොහොතේ අපේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරන්න කැමතියි.

විදුලි බිඳවැටීම්, ජලය සහ ආහාර ලබා ගැනීමේ අපහසුතා ඇතුළු අප්‍රමාණ බාධා හමුවේත්, ඔබ පෙන්වූ ඉවසීම, අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය, අපේ සමස්ථ ජාතියේම ශක්තිය බව මම තරයේ විශ්වාස කරනවා.

මෙම අසීරු කාලය පුරා, නොයෙක් ආකාරයෙන් ඔබ දැක්වූ දායකත්වයට, ඔබ පෙන්වූ ධෛර්යයට, සහ එකමුතුකම වෙනුවෙන් සිය ගෞරවය සහ ස්තූතිය පළ කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉතිහාසය සහ චිත්‍ර කලාව විෂයයන් තුළින් දමිළ ඉතිහාසය සහ කලා කෘති පිළිබඳ කරුණු ඉවත් කර නැහැ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඉතිහාසය සහ චිත්‍ර කලාව විෂයයන් තුළින් දමිළ ඉතිහාසය සහ කලා කෘති පිළිබඳ කරුණු ඉවත් කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම් සහ ශිවඥානම් ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත්කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

යාපනය දිස්ත්‍රීක්කයේ එළුවතිව් දූපතේ පාසල් දෙකක් තිබෙනවා. 1999 සිට විභාගමධ්‍යස්ථානයක් ලෙස මේ පාසල භාවිත කර නැහැ. මේ පාසල් වල දරුවන් සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටියේ කයිටිස් දූපතේ පිහිටි සෙන් ඇන්තනී විද්‍යාලයේ විභාගමධ්‍යස්ථානයේදී යි. එළුවතිව් දූපතේ පිහිටි පාසල් වල විභාගයට පෙනී සිටින දරුවන් ප්‍රමාණය ඉතා සීමිත පිරිසක් නිසා විභාගමධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිහින් නැහැ. සංඛ්‍යාත්මකව ගත්තොත් 2022 දී ළමයි 10ක්, 2023 දී ළමයි 08ක් 2024 දී ළමයි 05ක් ලෙස තමයි සාමාන්‍ය පෙළ සඳහා ඉල්ලුම් කර තිබෙන්නේ. ඒ නිසා විභාග මධ්‍යස්ථානයක් ලෙස මේ පාසල් භාවිත කර නැහැ ආසන්නතම විභාග මධ්‍යස්ථානය වෙත මේ දරුවන් යොමු කර තිබෙනවා. ඒ වගේ ම ඒ දරුවන්ට කයිට්ස් දූපතේ පිහිටි විභාග මධ්‍යස්ථානවෙත යන්න අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පිළිබඳ අපි අවදානය යොමු කරනවා.

ඒ වගේම දැනට ක්‍රියාත්මක ඉතිහාසය විෂය තුළ දමිළ රජවරු පිළිබඳ අන්තර්ගත කර තිබෙනවා. 10 වන ශේණියේ 07 වන පාඩමේ ඒ වෙනුවෙන් පරිච්ඡේදයක් වෙන් කර තිබෙනවා. ඒ වගේම 10 වන ශෙණියේ 10 වන පාඩමේ යාපනය රාජධානිය පිළිබඳ පරිච්ඡේදයක් ඇතුලත් කර ඇති අතර එහි සංගිලි රාජ්‍ය සමය පිළිබඳ අන්තර ගත කර තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපි දැනට 6 වන වසරට ඉතිහාසය පිලිබඳ අලුත් නිර්දේශයන් සකස් කර තිබෙනවා එහි සංගිලි රාජධානියේ පින්තූරයක් ද ඇතුලත් කර තිබෙනවා. ඉතිහාසය විෂයක් ලෙස ඉගැන්වීමේදී සිංහල සහ දමිළ ලෙස බෙදා වෙන් කර ඉගැන්වීම් සිදු කරන්නේ නැහැ. ශ්‍රී ලාංකික ඉගිහාසය ලෙස විවිධ කාල පරිච්ඡේද වල රජවරු සහ රාජ්‍යයන් පිළිබඳ උගන්වනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සුරක්ෂිත කිරීමේ සහ ප්‍රදර්ශනය කිරීමේ පුරෝගාමියා ලෙස ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් දමිළ ඉතිහාසය ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රදර්ශන මැදිරිතුළ ඉඩකඩ වෙන් කර තිබෙනවා. කොළඹ කෞතුකාගාරයේ ශිලා පුරාවස්තු මැදිරි තුළ දමිළ ටැම් ලිපි හතරක් සහ දමිළ ශිලා ලිපි දෙකක් ප්‍රදර්ශනය කර තියෙනවා. මේ ලිපි ඉන්දියාවේ රාජ රාජ සහ රාජේන්ද්‍රාධිරාජයන්ගේ මෙරට නියෝජිතයන්ගෙන් සහ ආර්ය චක්‍රවර්ති ආර්යයන් විසින් පිහිටුවා ඇති ලිපි. ඒ වගේම කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති දමිළ සෙල්ලිපි පිලිබඳ තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් මහාචාර්ය එස් පද්මනාදන් විසින් රචනා කර ඇති අතර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය විසින් අලෙවි කිරීමද සිදු කරනවා. ඒ වගේම හින්දු ආගමට අයත් ශිව, පාර්වති, නටරාජ්, සුන්දර මූර්ති ඇතුළු තවත් බොහෝ ශෛලමය සහ ලෝකඩ පිළිම සහ මූර්ති ගණනාවක් ප්‍රදර්ශනය කර තිබෙනවා. මීට අමතරව යාපනය රාජධානියේ භාවිත වූ සේතු කාසි එකතුවක් සුරක්ෂිතව ගබඩා කර තිබෙනවා. කොළඹ ජාතික කෞතුකාගාරය සතු සංගම් යුගයට අයත් චෝල සහ පාණ්ඩ්‍ය කාසි පිළිබඳ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සහ සෙනරත් වික්‍රමසිංහ විසින් රචිත ග්‍රන්ථයක් ද සංරක්ෂිත කර තිබෙනවා.

චිත්‍ර කලාව විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ විශිෂ්ට කලා කෘති අධ්‍ය්‍යනය කිරීම්වලින් යුතු විෂයක්. මේ විෂය සකස් කිරීමේදී විශේෂයෙන් සර්ව ජාතික, සර්ව ආගමික, සර්ව භෞමික කලා කෘතීන් ඇතුලත් ජාත්‍යන්තර ප්‍රමිතීන් සළකා බැලුවා. චිත්‍ර කලාව විෂය පිලිබඳ ප්‍රතිසංස්කරණ වලදි මේ ගැන වඩාත් අවධානයක් යොමු කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීව, ආයෝජන පසුබිම සහ පරිසරය සකස් කර ගනිමින් නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුව තිබෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීවීමටත්, අයවැය තුළ යම් යම් ගැළපීම් සිදුකරමින් ආයෝජන පසුබිම සහ පරිසරය නිවැරදිව සකස් කර ගත යුතුව ඇති බවත්, නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ සැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන, (SRI LANKA ECONOMIC AND INVESTMENT SUMMIT 2025) ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට දෙසැම්බර් 02 දින සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

සමාගම් 500කට වැඩි සංඛ්‍යාවක් නියෝජිතයින් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ලොව පුරා ආයෝජකයින් 100කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් (SRI LANKA ECONOMIC AND INVESTMENT SUMMIT 2025) ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව පැවැත් විය.

මෙහිදී පවත්වන ලද විශේෂ සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකර ඇති පුරෝකථනයන් සමඟ ඉදිරියට යායුතුයි කියන දැඩි ස්ථාවරයක අපි ඉන්නවා. අපි නැවත ආපස්සට යන්නේ නැහැ. රටට ආපසු හැරෙන්න දෙන්න බැහැ. අපගේ අරමුණ එම ඉලක්ක සපුරා ගැනීමයි.

පවතින වාතාවරණයන් සහ අවස්ථාවන් වෙනස් වන විට, අපට ඊට අනුගත වීමට සිදුවී තිබෙනවා. විශේෂයෙන් ඇතිවී තිබෙන හා සිදුවෙමින් පවතින තත්වයන්ට මුහුණ දීම සඳහා අපට යම් යම් පියවර ගැනීමට සිදුව තිබෙනවා. එහෙත් රජයේ ඉලක්කවල වෙනසක් සිදුවන්නේ නැහැ. අයවැය කතාවේදී ජනාධිපතිතුමා තිරසාර හා සියල්ල ඇතුළත් වර්ධනය, අපනයන විවිධාංගීකරණය, ඩිජිටල්කරණය, ඵලදායී ආර්ථිකයක් සහ දරිද්‍රතාවය පිටුදැකීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළා.

අපි ඒ ඉලක්ක කරා ළඟා වීමට නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා.

රජය අයවැය හරහා ප්‍රධාන උපායමාර්ගික යෝජනා ගැන කතා කළා. වෙළඳාම, ඩිජිටල්කරණය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා වන සමස්ත ආර්ථික ව්‍යුහය සම්බන්ධ යෝජනා ඊට ඇතුළත්. ඒ සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති බොහොමයක් වෙනුවෙන් අපි දැනටමත් වැඩ පටන් අරන් තිබෙනවා. ලබන වසරේ මුලදී ඒවා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒවා ප්‍රමාද කිරීමට කිසිම හේතුවක් නැහැ.

ඇත්තෙන්ම, අපි වඩා වේගයෙන් ඉදිරියට යනවා. මොකද එය අපගේ යළි ගොඩනැගීමේ උපාය මාර්ගයේ කොටසක්.

ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් වී ඇති බවට අපි වග බලා ගන්නවා. ඒ කිසිවක් කල් දැමීමට අපට අදහසක් නැහැ.

ඇති වී තිබෙන තත්ත්වයන් හමුවේ අප උපායශීලීවීමට අපට සිදුවෙනවා. අපගේ අයවැය තුළත් යම් යම් ගැළපීම් සිදුකරන්න සිදු වේවි.

මේ විනාශයෙන් ගොඩ ඒමට හැකි බව තහවුරු කර ගැනීමට පවා, අප අපේ ආර්ථිකය ශක්තිමත්ව සහ ඔරොත්තු දෙන ලෙස තබා ගත යුතුයි. මේවා නිකම්ම "අලංකාරයට කරන අමතර දේවල්" නෙවෙයි. ආර්ථිකය ස්ථාවරව සහ තරඟකාරීව තබා ගැනීමට මේවා මූලික වෙනවා. ඒ නිසා මේ අත්‍යවශ්‍ය දේවල් කළ යුතුමයි. ඒ සඳහා මුදල් සොයා ගැනීමට අපට සිදුවෙනවා.

මෙතැනදී මුදල්වලට වඩා නිවැරදි ප්‍රතිපත්ති ඉතා වැදගත් .

උදාහරණයකට තනි කවුළුවක් (single window) පවත්වාගෙන යාමට විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. එය කළමනාකරණය පිළිබඳ කාරණාවක්. වැදගත්ම වෙන්නෙ ප්‍රතිපත්ති නිවැරදිව සකස් කර ගැනීමයි. ඒ වගේම සියලු දෙනා නීති රීති සහ රෙගුලාසි අනුගමනය කරන බවට වග බලා ගැනීමට දේශපාලන මැදිහත්වීමත් වැදගත් වෙනවා.

අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකරන්න බලා පොරොත්තු වන්නේ ප්‍රතිසංස්කරණයකට වඩා "පරිවර්තනයක්" කියා හැඳින්වීමට මම කැමතියි. හේතුව, අපි සැලසුම් කරන්නේ පවතින ක්‍රමයම ප්‍රතිසංස්කරණය කිරීමට නෙමයි, නව ක්‍රමයක් හඳුන්වා දෙන්නයි.

මේ වෙනස කුළුණු පහක් මත පදනම් වෙනවා ඒ, ඇගයීම් සහ විමර්ශන ක්‍රමවල ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන පරිපාලනයේ ප්‍රතිසංස්කරණ, පාසල් යටිතල පහසුකම් දියුණු කිරීම සහ අවසාන වශයෙන් මහජනයා දැනුවත් කිරීම ආදී වශයෙන්.

අපි යෝජනා කරන මූලික වෙනස්කම් දෙකක් තියෙනවා. පළමුවැන්න ඇගයීම් ක්‍රමයේ වෙනස. දැනට අපට තිබෙන්නේ විභාගය ඉලක්ක කර ඉගැන්වීම සිදු කරන, ඉහළ විභාග කේන්ද්‍රීය ක්‍රමයක්. ළමුන් ඉගෙන ගන්නේ විභාග පාස් වෙන්නයි.

අපට අවශ්‍ය මෙය පාසල පදනම් කරගත්, අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් බවට පත් කිරීමටයි. එහිදී තරගකාරී විභාග කෙරෙහි අවධානය අඩු වෙනවා වගෙිම ඉගෙනීම අත්දැකීමක් සහ ක්‍රියාවලියක් ලෙස සැලකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනවා. මොඩියුලර් ක්‍රම, පාසල් පාදක ඇගයීම් හඳුන්වා දීමට සහ විභාගය කෙරෙහි ඇති බර අඩු කිරීමටයි අපි සැලසුම් කරන්නේ . මෙය අධ්‍යාපනයේ විශාල වෙනසක් ඒ සඳහා ඉගෙනීම දෙස බලන ආකාරය පිළිබඳ මානසිකත්වයේ වෙනසක් ද අවශ්‍ය වෙනවා.

අපි ගෙන එන දෙවන විශාල වෙනස වෘත්තීය අධ්‍යාපනය (vocational education) ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනය තුළ විධිමත් විෂය ධාරාවක් සහ තෝරා ගැනීමේ විෂයක් ලෙස හඳුන්වා දීමයි.

දැනට වෘත්තීය අධ්‍යාපනය සරලව කිව්වොත් සලකන්නේ "පරාජිතයින්ගේ තෝරාගැනීම" විදියටයි. යමෙක් විභාග අසමත් වුවහොත් හෝ පන්ති කාමරයේ පිටුපස පේළියේ සිටින සිසුවෙක් නම්, ඔවුන්ව වෘත්තීය අධ්‍යාපනයට යොමු කරන අතරම සාමාන්‍යයෙන් වෘත්තීය අධ්‍යාපනය ලැබීමට පාසලෙන් අස් විය යුතුව තිබෙනවා. අපි යෝජනා කරන්නේ 6 වසරේ සිටම වෘත්තීය අධ්‍යාපනය ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනයේ කොටසක් බවට පත් කිරීමටයි. එවිට සියලු සිසුන්ට වෘත්තීය ක්ෂේත්‍රයන් හඳුනා ගැනීමට හැකි වන අතර අධ්‍යාපනයේ සෑම මට්ටමකදීම වෘත්තීය මාවතක් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වෙනවා. මෙය ජර්මාන් ක්‍රමයට තරමක් සමානයි. එහිදී පාසලේ ඉගෙන ගන්න කාලයක් වගේම කාර්මික පුහුණුව සඳහාද යම් කාලයක් වෙන් කෙරෙනවා.

ඒ වගේම අපි වාණිජ මණ්ඩල සහ පුද්ගලික අංශය සමඟ ඉතා ඉක්මනින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කුසලතා අවශ්‍යව තිබෙන ක්ෂේත්‍ර හඳුනා ගැනීමට අපට පුද්ගලික අංශයෙන් නිරන්තර තොරතුරු අවශ්‍ය වෙනවා.

අපේ සිසුන්ට සීමාවාසික පුහුණුව ලබා දීමට සහ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව පාඨමාලා සංවර්ධනය කිරීමට පුද්ගලික අංශය දායක වෙනවාට අපි කැමතියි. විෂය නිර්දේශයන් සකස්කිරීමටත් ඔවුන්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.

නමුත් මට මෙයත් පැවසිය යුතුයි, අපගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණ හුදෙක් ශ්‍රම වෙළඳපොළට කෙනෙක් බිහි කිරීම පමණක් නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම අපට අවශ්‍ය වෙන්නෙ යහපත් පුරවැසියෙක් බිහි කරගන්නයි. ආර්ථිකයට දායක වීම යහපත් පුරවැසියෙකු වීමේ කොටසක්. සේවකයෙකු ලෙස, ව්‍යවසායකයෙකු ලෙස හෝ නිර්මාණශීලී පුද්ගලයෙකු ලෙස රට ඊළඟ මට්ටමට ගෙන යා හැකි පුරවැසියන් බිහි කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2025, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකු සමූහය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු දෙස් විදෙස් සම්පත්දායකයන් රැසකගේ සම්පත් දායකත්වයෙන් සංවිධාන කර තිබිණ. මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය