අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

අග්‍රාමාත්‍යවරිය සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට සහභාගී වෙයි.

ඔක්තෝබර් 20 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් (YMMA) සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

සිවිල් සේවකයෙකු සහ සෙනෙට් සභිකයෙකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.එම්.ඒ. අසීස් මහතා විසින් ආරම්භ කරන ලද YMMA සංගමය, තරුණයින්ට සහ ප්‍රජා සහභාගීත්වයට අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බවට ඇති විශ්වාසය මත ස්ථාපිත කරන ලද අතර වසර ගණනාවක් පුරා, මෙම දැක්ම ඉදිරියට ගෙන ගොස් ඇත. පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර පුණ්‍යායතන සංවිධානයක් ලෙස පිළිගත් YMMA සංගමය සමාජ සුභසාධනය සහ ප්‍රජා සංවර්ධනයේ කුළුණක් බවට පත්ව ඇත.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"අධ්‍යාපනය, තරුණ සංවර්ධනය, ආපදා සහන සැලසීම, අවශ්‍යතා ඇති කාන්තාවන් සහ පවුල් බලගැන්වීම සහ ප්‍රජා සුභසාධනය මූලික කර ගනිමින් මෙම සංගමය දහස් ගණනක පුද්ගලයින් සහ ප්‍රජාවන්ට සහාය වෙලා තියෙනවා.

තරුණ කාන්තා මුස්ලිම් සංගමයේ (YWMA) ‘කාන්තා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ සහ ‘පාසලට ආපසු යාමේ වැඩසටහන’ වැනි මුලපිරීම් හරහා මුස්ලිම් කාන්තාවන්ට සහාය වීමට YMMA සංගමය මඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි. එවැනි වැඩසටහන් පුද්ගල සංවර්ධනය සඳහා පමණක් නොවේ, සමස්තයක් ලෙස සමාජයටම වටිනාකමක් එක් කරනවා.

අන් අයට සේවය කිරීම සඳහා තම කාලය, ශක්තිය සහ සම්පත් ලබා දුන් පිරිස ඇගයීමට ගන්න උත්සාහය වාර්ෂිකව ඔබ විසින් මෙලෙස සිදු කරනු ලබන සාමාජික සාමාජිකාවන් සහ ශාඛා තෝරාගැනීම මඟින් පිළිබිඹු වනවා.

වසර 75 ක සේවා කාලය පිළිබඳ අපි මෙලෙස මෙනෙහි කරනවා වගේම අපි ඉදිරිය දෙසත් බැලිය යුතුය. විරැකියාව සහ සමාජයෙන් කොන් වීම ඇතුළුව අද තරුණයින් මුහුණ දෙන අභියෝගවලට රජය, සිවිල් සමාජය වගේම YMMA වැනි සංවිධාන අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් අවශ්‍යයි.

විශේෂයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්පූර්ණ කිරීමෙන් පසු ගැහැණු ළමයින්ට සාපේක්ෂව පිරිමි ළමයින් වැඩි ප්‍රමාණයක් උසස් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ අනුපාතයක් ඇති බව දැනට පවතින දත්තවලින් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා තරුණ පිරිමි දරුවන්ට උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන පුහුණුව හැදෑරීමට ඇති අවස්ථා සීමා කරනවා. එබැවින් ඉගෙනුම් මාර්ග සඳහා මඟ පෙන්වීම මඟින් පිරිමි දරුවන්හට අධ්‍යාපනය දිගටම කරගෙන යාමට දිරිගැන්වීම සහ සහාය දීම අත්‍යවශ්‍යයි.

වගකිවයුතු සහ දක්ෂ තරුණ පුරවැසියන් සංවර්ධනය කිරීම සඳහා YMMA සංගමය මඟින් ලබා දෙන අඛණ්ඩ කැපවීම මම අගය කරනවා. සමානාත්මතාවය, අවබෝධය සහ සමාන අවස්ථා මත පදනම් වූ සමාජයක් අපට ගොඩනගා ගත හැකි වන්නේ මෙම උත්සාහයන් තුළින්."

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා, YMMA සාමාජිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දීපාවලි දින ශුභාශිංසන පණිවුඩය.

දීපාවලි උත්සවය සමරන ලෝකවාසි හා විශේෂයෙන් ම ලංකාවාසි සියලු හින්දු භක්තිකයන් වෙත මාගේ ශුභාශිංසන එක් කරනු කැමැත්තෙමි.

දීපාවලි උත්සවය තුළින් අඳුර නසා ආලෝකයේ උදාව සිදුවීම සංඛේතවත් කරයි.

අද වන විට ශ්‍රී ලංකාව සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින අතර, දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇති ව තිබූ අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක් ලෙස මෙකී කාල පරාසය හැඳින්විය හැකිය.

ජනතාවගේ ප්‍රගමනය සහ නව යුගයක ඇරඹුම ඒකාබද්ධ ප්‍රයත්නයක් තුළින් අප අරඹා ඇත්තෙමු.

මෙවර දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි ප්‍රාර්ථනය කරමි.

අප සියලු දෙනා සංස්කෘතික බහුවිධතාවයේ වටිනාකම් ගැන අවධානය යොමු කොට ගෞරවය, පිළිගැනීම සහ සහෝදරත්වයෙන් යුතුව අත්වැල් බැඳගනිමු.

ගම් දනව් සිසාරා දල්වන දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන්, සියලු ලංකාවාසින්ගේ සිත් තුළ විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි ප්‍රාර්ථනය කරමි.

සුබ දීපාවලි දිනයක් වේවා !

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 ඔක්තෝබර් 20

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලක් රජය සුදානම්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 NDTV ලෝක සමුළුව අමතමින් කියයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පිළිගෙන තිබෙනවා

ශ්‍රී ලංකාව තුළ යහපත් සමාජයක් සහ සියලු දෙනා නියෝජනය වන, ඉදිරි දැක්මක් සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමට සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සුදානම් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නවදිල්ලි නුවර පැවති 2025 NDTV ලෝක සමුළුව අමතමින් ඔක්තෝබර් 17 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

“අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් මෙහෙයවීම” යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පවත්වන ලදී. වේගයෙන් වෙනස් වන ලෝකයක අභියෝග සහ විසදුම් සඳහා ඇති අවස්ථා සාකච්ඡා කිරීමට ගෝලීය නායකයින්, චින්තකයින් සහ නවෝත්පාදකයින්, එකම වේදිකාවකදී නවමු සංවාදයකට පෙළ ගැසීම “අනපේක්ෂිතයෙහි සීමාව: අවදානම. විසඳීම. ප්‍රතිසංස්කරණය” යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේ අරමුණ විය.

ශ්‍රී ලංකාවේ සිදු වී ඇති ප්‍රජාතාන්ත්‍රික පුනර්ජීවනය, ආර්ථික ප්‍රකෘතිය සහ ඉන්දියාව සමඟ පවතින සහයෝගීතාව පිළිබඳව සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය සිය අදහස් පළ කළා ය. ගෝලීය වශයෙන් ඇතිවන අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතාවයන්ගෙන් මිදීම සඳහා වගකීමෙන් යුතුව නායකත්වය මෙහෙයවීම සඳහා සහයෝගීතාවයේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළා ය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් අර්බුදවලින් යථා තත්ත්වයට පත්වීමට ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ගමනක් එන්න සිද්ධ වුණා. එහිදී විනිවිදභාවයෙන් යුතු, වගවීමක් සහ පුළුල් පාලනයක් සඳහා සාමාන්‍ය පුරවැසියන්ගේ ඉල්ලීම් අනුව වත්මන් ආණ්ඩුව පාලනය භාර ගැනීම ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ නව රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය කළමනාකරණය සහ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරමින් යනවා. ශ්‍රී ලංකාවේ දැනට සිදු වී ඇති මූල්‍ය ඒකාබද්ධ කිරීම ඉතිහාසයේ සිදු වී ඇති විශාලතම පරිවර්තනයක් ලෙස IMF සහ ලෝක බැංකුව විසින් පිළිගෙන තිබෙන බව මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ 10%ක් දක්වා පෙර නොවූ විරූ වැඩිවීමක් මෙන්ම ආබාධ සහිත පුද්ගලයින් සහ මලයගම් ප්‍රජාවේ සාමාජිකයින් ඇතුළු සමස්ත ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ පුළුල් නියෝජනයක් සිදු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව අභියෝගයන්ට මුහුණ දුන් සැම අවස්ථාවකම අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව ලබා දුන් සහයෝගය අපි ඉතා අගයකොට සළකනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බුදය අතරතුර ඉන්දියාව ලබා දුන් සහයෝගය මෙන්ම බලශක්තිය, සම්බන්ධතාවය, අධ්‍යාපනය, ආරක්ෂක, වෙළඳාම සහ තාක්ෂණය වැනි ක්ෂේත්‍ර සඳහා දිගින් දිගටම ඉන්දියාවෙන් ලැබෙන සහයෝගීතාව අගය කළ යුතුයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම සහ ඉන්දියාවේ දැක්මට අනුකූලව ඉන්දියාවේ නිෂ්පාදන සහ සේවා දාමයන් සමඟ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා ඒකාබද්ධ කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා.

ශ්‍රි ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ දූෂණය තුරන් කිරීම සඳහා GovPay, ඉලෙක්ට්‍රොනික-අනන්‍යතා පද්ධති සහ විවෘත දත්ත ද්වාර ව්‍යාපෘති අපේ රජය ආරම්භ කළා. නමුත් නීති මත පදනම්ව පමණක් ජාතීයක් නැවත ගොඩනැගීමට නොහැකියි ඒ සඳහා සදාචාරාත්මක වටිනාකම් සහ සිවිල් ආචාර ධර්ම සංවර්ධනයත් අවශ්‍ය බව අපේ රජය අවබෝධ කරගෙන තිබෙනවා.

ඒ වගේම දකුණු ආසියාව පුරා සිටින තරුණ තරුණියන් ගෙන් මම ඉල්ලනවා නවෝත්පාදනය සහ තාක්‍ෂණික මෙවලමක් වශයෙන් පමණක් නොව සාධාරණත්වය, සියලු දෙනා නියෝජනය වන සහ මානුෂීයත්වය ඇතුළත් වන සදාචාරාත්මක හැඩගැස්වීමේ පද්ධතික් විදිහට සළකා වැඩ කරන්න කියලා.

ශ්‍රී ලංකාව තුළ යහපත් සමාජයක් සහ සියලු දෙනා නියෝජනය වන, ඉදිරි දැක්මක් සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමට සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සුදානම් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ( 17) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළේය.

අග්‍රාමාත්‍ය මෝදි මහතා විසින් අග්‍රාමාත්‍යතුමිය උණුසුම් ලෙස පිළිගත් අතර ද්විපාර්ශ්වික සබඳතාවන් සහ දෙරට අතර පවතින බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට මෙම සංචාරය උපකාරී වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

1990 දශකයේ මුල් භාගයේදී ICCR ශිෂ්‍යත්වයක් ලබා තමන් දිල්ලි විශ්ව විද්‍යාලයේ හින්දු විද්‍යාලයට ඇතුලත් වුනු ආකාරය සහ එය තම ජීවිතයට උපකාරී වූ ආකාරය ඇතුළු ඉන්දියාවේදී ලද සිය අත්දැකීම් අග්‍රාමාත්‍යතුමිය අගමැති මෝදි මහතා සමඟ බෙදා ගත්තාය.

මෙම ඉන්දිය සංචාරය අතරතුර දිල්ලියේ ආදර්ශ පාසලක සිදු කළ සංචාරය නව්‍ය අධ්‍යාපන ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීමට වටිනා අවස්ථාවක් වූ බවද අගමැතිවරිය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අගමැති මෝදි සහාය පළ කළ අතර, විශේෂයෙන් පාසල් හැර යන තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග සහ සමාජ ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, සියලු දෙනා ඇතුළත් කර ගත් සහ සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහය පිළිබඳවද ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

දෙරටේ ධීවරයින්ගේ සුභසාධනයට අදාළ කරුණු සහ දෙපාර්ශ්වයේම ධීවරයින්ගේ ජීවනෝපායන් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කළාය.

දෙරටේ සංවර්ධන ගමනේදී හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කිරීමට ඉන්දීය රජය කැපවී ක්‍රියා කරන බවටත්, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සහ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයෝගය ලබාදෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළේය.

අනුරාධපුර පූජනීය නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂයෙන් එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උණුසුම් සුබ පැතුම් අගමැති මෝදි වෙත ප්‍රකාශ කරන බව මෙහිදී අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර දී ඉන්දීය වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි.

සිය පළමු ඉන්දීය නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 16 වන දින නවදිල්ලි නුවර දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) නියෝජිතයින් හමුවිය.

ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා ශක්තිමත් කිරීම ඇතුළුව බලශක්ති, කෘෂිකර්මය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, මූල්‍ය තාක්ෂණය (Fintech), කෘතිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවර්ධන කටයුතු, කුසලතා සහ නවෝත්පාදනය, සුවතා සංචාරක ව්‍යාපාරය, පොහොර නිෂ්පාදනය සහ වරාය සංවර්ධනය ඇතුළු ප්‍රධාන අංශ හරහා සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ ඒ සඳහා පුළුල් අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි මෙම රැස්වීම මඟින් අවධානය යොමු විය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය සහ කුසලතා සංවර්ධනය හරහා දැනුම මූලික කරගත් ආර්ථිකයක් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී ඉස්මතු කළා ය. අනාගතය සඳහා සූදානම් ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන හා නවෝත්පාදන ප්‍රතිපත්ති රාමුව තුළින් කෘතිම බුද්ධිය, STEAM අධ්‍යාපනය (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා සහ ගණිතය) සහ නිපුණතා පාදක කරගත් ඉගෙනුම් ක්‍රියාවලියක් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් මෙහිදී අවධාරණය කළා ය.

නිෂ්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපන තාක්‍ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර සහ කෘතිම බුද්ධිය සහ නවෝත්පාදන මධ්‍යස්ථාන, වෘත්තීය පුහුණු හවුල්කාරිත්වයන් සහ EdTech-පාදක ඉගෙනුම් ආකෘති සඳහා යෝජිත සහයෝගීතාවය ශ්‍රී ලංකාව තුළ පුළුල් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉන්දීය කර්මාන්ත මණ්ඩලයට ආරාධනා කළා ය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම අරමුණු කරගත් කෘෂි-නවෝත්පාදන පද්ධති, පොහොර නිෂ්පාදන තාක්‍ෂණය, සුවතා සංචාරක ව්‍යාපාර සහ මූලය තාක්ෂණ විසඳුම් සංවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. වෘත්තීය කුසලතා ඇති ශ්‍රම බලකායක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 5 ක ඩිජිටල් අපනයනක් සමඟ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 ඉලක්ක කරගත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික වර්ධනයක් සඳහා ඇති උපායමාර්ගික අවධානය පිළිබඳ ව ද අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.

පෞද්ගලික අංශය මඟින් ලබා දෙන සහයෝගීතාවයේ ඇති වැදගත්කම ඉස්මතු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය මත පදනම් වූ මිත්‍රත්වය සඳහා දිගු ඉතිහාසයක් ඇති බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැඟීම සහ තිරසාර සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළඳ කටයුතු සහ ආයෝජනය පුළුල් කිරීම කේන්ද්‍රීය ව පවතින බවත් සඳහන් කළා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අගමැති හරිනි අමරසූරිය නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක් නම් කරයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය ඉන්දීය නිල සංචාරය අතරතුර ඇය සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ හින්දු විද්‍යාලයේ සහ දිල්ලි විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

එහිදී විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඇයගේ ජයග්‍රහණ අගයමින්, හින්දු විද්‍යාල පරිශ්‍රයේ "හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය" ලෙස නම් කරන ලද නව පර්යේෂණ ඒකකයක් විවෘත කරන ලදි.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඉගෙන ගත් පන්ති කාමර නැරඹීමට එක් වූ අතර, හින්දු විද්‍යාලය හරහා අගමැතිනියගේ අධ්‍යයන ගමන මෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම සඳහා විද්‍යාලය තුළින් ලද පන්නරය සිහිපත් කරමින් ශිෂ්‍යාවක් ලෙස ගත කළ කාලය පිළිබඳ අත්දැකීම් සිසුන් සහ කාර්යමණ්ඩලය සමග බෙදා ගත්තා ය.

සිසුන් ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ’අධ්‍යාපනය යනු හුදෙක් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමක් පමණක් නොවන බවත්, එමඟින් අන් අයගේ අනාගත අභිවෘද්ධිය සඳහා ද අපව සූදානම් කරන බවත්’ සඳහන් කරමින් කුතුහලය, සහකම්පනය සහ විවේචනාත්මක චින්තනයේ වටිනාකම අවධාරණය කළා ය. සියලු දෙනා ඇතුළත් වන සාධාරණ සමාජයන් නිර්මාණය කිරීමේදී, සානුකම්පිත, ප්‍රජාතාන්ත්‍රික සහ ක්‍රියාකාරී පුරවැසියෙකුගේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය.

හින්දු විද්‍යාලයීය නිරීක්ෂණ චාරිකාවෙන් පසු, අග්‍රාමාත්‍යවරිය 2015 වසරේ දී ක්‍රමසම්පාදන කොමිසම වෙනුවට පිහිටුවන ලද ඉන්දීය රජයේ ප්‍රතිපත්ති සංවර්ධන සහ පර්යේෂණ ආයතනයක් වන NITI Aayog හෙවත් ඉන්දීය පරිවර්තනය සඳහා වූ ජාතික ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මෙම නිරීක්ෂණ චාරිකාව හරහා අධ්‍යාපනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලනය පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු විය. ශ්‍රී ලංකාව මේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටින බැවින්, NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතන නිරීක්ෂණ චාරිකාව මඟින් Atal Innovation Mission (AIM) සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පර්යේෂණ, නිර්මාණශීලී හැකියාවන් සහ ඩිජිටල් ඉගෙනීම් කටයුතු පෝෂණය කිරීම සඳහා එමඟින් සිදුවන ප්‍රවේශය ඇතුළු ඉන්දියාවේ පරිවර්තන අත්දැකීම් කෙරෙහි අගමැතිනියගේ අවධානය යොමු විය.

අගමැති මාධ්‍ය අංශය