අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ අග්‍රාමාත්‍යවරිය සහ IMFහි නව මෙහෙයුම් ප්‍රධානී අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (07) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු පිළිබඳ මෙහිදී සමාලෝචනයක නිරත වූ නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍යතුමිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය සහ රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව ද සාකච්ඡා කළහ.

ඉදිරියේදී මතුවිය හැකි ආර්ථික අභියෝග, ඒ සඳහා අවශ්‍ය කඩිනම් විසදුම් සහ ශ්‍රී ලංකාව සඳහා ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු සංවර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශවය අතර කරුණු හුවමාරු විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකාව සඳහා IMF හි නව මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ, ආසියා සහ පැසිෆික් කළාප සඳහා IMF හි නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත්, ශ්‍රී ලංකාව සඳහා හිටපු මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර් , IMF නේවාසික නියෝජිත මාර්තා වොල්ඩෙමිචෙල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, යන මහත්මමහත්මීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් කාන්තාවන් සතු කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී කටයුතු කරනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට සිය කුසලතා බාධාවකින් තොරව එළිදැක්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ අප්‍රේල් 07 වන දින IMRA පදනම විසින් සංවිධානය කරන ලද "IMRA විශිෂ්ටතා සම්මාන 2025" උළෙලට සහභාගී වූ අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළා ය .

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"අද රාත්‍රිය අපි එක් වී සිටින්නේ ජයග්‍රහණය සැමරීමට පමණක් නොවේ, ශ්‍රී ලංකාව පුරා විහි දී සිටින මුස්ලිම් කාන්තාවන්ගේ නොසැලෙන දායකත්වය අගය කිරීමටයි. මෙවැනි කාන්තාවන් සඳහා ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමට මෙන්ම විශිෂ්ටත්වය සඳහා යන ගමනේ ඔවුන්ගේ කැපවීම සහ ධෛර්යය ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ලබා දීම සඳහා IMRA පදනමේ දායකත්වය අගය කළ යුතුයි.

නීති,සෞඛ්‍ය සේවා මෙන්ම අධ්‍යාපනය, මාධ්‍ය අංශ සහ ව්‍යවසායකත්වය දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියාවේ නිරත ව සිටින මෙම කාන්තාවන් අපගේ සමාජයේ සිටින සාමාන්‍ය පිරිසක් පමණක් නොවේ, ඔවුන් එම ක්ෂේත්‍රවල අනාගත නිර්මාණකරුවන්.

අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා අංශ ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල ව්‍යවසායකත්වයේ කැපී පෙනෙන නවෝත්පාදනයන් මෙන්ම කැපවීම් අපිට දකින්න පුළුවන්. සමාජයේ මුල් බැස ගත් මතයන් හමුවේ අභියෝග නොතකා මෙම කාන්තාවන් ඔවුන් තෝරාගත් වෘත්තීන් තුළ කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගෙන අපගේ ජාතියේ වැදගත් බලවේගයක් බවට පත්ව ඇති බව පැහැදිලියි. මුස්ලිම් කාන්තාවන් පසුපස අසුන් ගත යුතු බවට ඇති යල් පැන ගිය මතය අප දුරු කළ යුතුයි. ඊට ප්‍රතිවිරුද්ධව, ඔවුන් දැන් වඩාත් ශක්තිමත් ව පෙරමුණ ගනිමින් සිටිනවා. ඔවුන් තම ප්‍රජාවන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ආදර්ශයක් .

ඒ අනුව මෙම කැපී පෙනෙන කුසලතා සහ දායකත්වය හඳුනා ගනිමින් පවතින සෘණාත්මක සමාජගත සංකල්ප සමාජය කෙතරම් නොමඟ යවන සුළු විය හැකි ද යන්න පෙන්වා දී එමඟින් ප්‍රජාව සඳහා ආදර්ශයන් නිර්මාණය කිරීම IMRA පදනමේ අරමුණ වී තිබෙන බව පැහැදිලියි.

මුස්ලිම් කාන්තාව පිළිබඳ සමාජගත සංකල්ප දුරු කිරීම වැදගත් වුවත්, සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිළිබඳ පවතින මතය බොහෝ දුරට ස්ත්‍රී විරෝධී මතයන්ගෙන් හැඩගැසී ඇති බව අප පිළිගත යුතුයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ඉහළ මට්ටමක පැවතීම, අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපයෝජනය, දේශපාලන පසුබිම තුළ මෙන්ම තීරණ ගැනීමේ දී කාන්තා සහභාගීත්වයේ අඩු අනුපාතයක් පැවතීම, දේශපාලන මෙන්ම වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක කාන්තාවන්ට එරෙහිව සිදුවන මඩ ප්‍රහාර යන කරුණු සැලකිල්ලට ගත් විට මෙය පැහැදිලි වෙනවා.

මෙය යම් කිසි ප්‍රජාවකට සීමා වූ ගැටලුවක් නොවේ, ඊට එහා ගිය සමාජ ගැටලුවක් ලෙස හඳුනා ගැනීම මෙහිදී වැදගත් වෙනවා.

අද රාත්‍රියේ අප සමරන්නේ පුද්ගල ජයග්‍රහණ පමණක් නොවේ, ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ සාමූහික ශක්තිය සහ නොසැලෙන ධෛර්යයයි. දරුවෙකු ඇති දැඩි කිරීමට ගමක් අවශ්‍ය වනවා වගේම කාන්තාවන් ඉදිරියට ඔසවා තබන්නටත් ගමක සහයෝගය මෙන්ම තවත් බොහෝ දේ අවශ්‍ය වෙනවා. අද රාත්‍රියේ අප සමරන මෙම මොහොත ඉදිරි පරපුර ආලෝකමත් කරමින් බලාපොරොත්තුවක් එකතු කරයි.

අපි ඉදිරියට යන මේ ගමනේ, සෑම කාන්තාවකටම ඇගේ සිහින හඹා යාමට, මෙන්ම බාධක බිඳ දමා ජාතියේ උන්නතිය උදෙසා දායක වීමට හැකි පරිසරයක් ලබා දීමට කටයුතු කළ යුතුයි.

අද රාත්‍රියේ අප සමරන මේ ජයග්‍රහණ කාන්තාව සඳහා ඉදිරි මාවත සකසන බව සහතික කරමු."

මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින්, IMRA විශිෂ්ටතා සම්මාන නීති සහ උපදේශනය - ශායිඩා බැරී, කලා සහ සංස්කෘතිය - අමීනා හුසේන්, ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනය - රමෝලා රසූල්, සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව - මහාචාර්ය ෆසීහා නූර්දීන්, ගෘහ නිර්මාණ ශිල්පය - ෂෙහෙලා ලතීෆ්, මාධ්‍ය සහ සන්නිවේදනය - ශ්‍යාමා අකූබ් සහ IMRA නැගී එන තරුව සම්මානය - හම්නා කිසාර්, ක්‍රීඩා සඳහා - සාජිදා රසික්, අධ්‍යාපනය සඳහා - රිස්කා නවුෂාඩ්, ජීවිත කාලීන ජයග්‍රහණ සම්මාන සැන්ඩ්‍රා වඳුරගල, ශිවානන්දිනී දුරෛස්වාමි, සුනේලා ජයවර්ධන සහ අන්බෙරියා හනීෆා සම්මාන ලබා ගන්නා ලදි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, හිටපු දේශපාලනඥවරියක් වූ ෆෙරියල් අෂ්රොෆ් සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට දායක වීමට කැපවී සිටින විවිධ ක්ෂේත්‍රවල ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වසර තුනකට පසු පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමට අගමැතිනිය තායිලන්තයට යයි

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (03) රාත්‍රියේ සහභාගී විය.

BIMSTEC 6 වැනි සමුළුව අප්‍රේල් 4 වැනිද‍ා (අද) තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන අතර ඊට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ පස්වරු. 5.55ට තායිලන්තයේ බැංකොක් හි පිහිටි ස්වර්ණ භූමි ගුවන් තොටුපළෙන් තායිලන්තයට පැමිණියාය.

වසර තුනකට පසු පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුවේ තේමාව වන්නෙ “සෞභාග්‍යවත්, ඔරොත්තු දීම සහ විවෘතභාවය" යන්නයි.

සාමාජික රටවල් හත වන - බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර හවුල් ආරක්ෂක සහ සංවර්ධන අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම බිම්ස්ටෙක් සමුළුවේ අරමුණයි.

සමුළුවට සමගාමීව තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් "ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න" ප්‍රවර්ධන වැඩසටහන්වලට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය බැංකොක් නුවර පිහිටි ඓතිහාසික වට් ෆෝ, විහාරස්ථානයට පැමිණි අතර විහාරාධිපති අතිපූජ්‍ය ප්‍රා ධම්ම වජිර පඤ්ඤාචාර්ය හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර වෘත්තීය අධ්‍යාපනය සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට පියවර

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා ජර්මනියේ හැම්බර්ග් වෙත නිල සංචාරයක නිරත විය. සංචාරය අතරතුර දෙරට අතර වෘත්තීය අධ්‍යාපනය සහ ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

102 වන නැගෙනහිර ආසියානු මිත්‍රත්ව රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතා ද හමු විය. එහිදී මෙරට ආර්ථික ස්ථාවරත්වය, සමාජ ආරක්ෂාව සහ ජාතික සමගිය සඳහා රජයේ කැපවීම පිළිබඳ ජර්මානු ජනාධිපතිවරයා ව දැනුවත් කළාය. ආයෝජන, අධ්‍යාපනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවන් කිහිපයකටද අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරය අතරතුර සහභාගී විය.
-------------------------------------------

ජර්මන් සංචාරයේ දී ජර්මන් ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමයේ (OAV) වාර්ෂික රැස්වීමේ අමතමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල සහ සංවර්ධනය වන ආයෝජන කලාපයක් ලෙස ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව අවධාරණය කළාය. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන ජර්මානු සමාගම් 160 කට අධික සංඛ්‍යාවක දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, වෙළඳාම සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියටත් පවත්වා ගැනීමට ජර්මානු රජයට ආරාධනා කළා ය.
----------------------------------------------

’වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ ජර්මානු-ආසියානු සංසදයේ’ ප්‍රධාන දේශනයට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දශක ගණනාවක් පුරා ජර්මනිය පවත්වාගෙන ආ සහයෝගය පිළිබඳ ප්‍රශංසාව පළ කළා ය. කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා ඉල්ලුමට අනුකූලව වෘත්තීය පුහුණුව නවීකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය ඉන් අනතුරුව ITECH වෘත්තීය පාසල සහ NXP අර්ධ සන්නායක සහ DESY වැනි ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථාන වෙත ගොස්, තොරතුරු තාක්ෂණය සහ තාක්ෂණය මත පදනම් වූ කර්මාන්තවල පවතින නව අවස්ථා පිළිබඳව සාකච්ඡා කළාය.
---------------------------------------

ජර්මානු රජයේ ව්‍යාපාරික වටමේස සාකච්ඡාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, එහිදී ජර්මානු සමාගම් සහ රජයේ නියෝජිතයන් සමඟ ආර්ථික ව්‍යාප්තිය, ඩිජිටල්කරණය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳව සාකච්ඡා පැවැත් විය.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනි වරුණි මුතුකුමාරණ සහ ජ්‍යෙෂ්ඨ තානාපති කාර්යාල නිලධාරීන් ඇතළු පිරිසක් මෙම විශේෂ හමුවීම් සඳහා සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ප්‍රංශ සංචාරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රංශ රජය සමඟ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට සහභාගී වෙයි.

යුනෙස්කෝවේ පැවති අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුම දේපළ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවට සමගාමීව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මාර්තු 31 සිට අප්‍රේල් 2 දක්වා ප්‍රංශයේ කළ නිල සංචාරයේදී ද්විපාර්ශ්වික ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ කටයුතු මාලාවකට සහභාගී විය. පුළුල් පරාසයක ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් මෙම රැස්වීම් සිදු කරන ලදී.

අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය 2025 අප්‍රේල් 1 වන දින එරට අධ්‍යාපන අමාත්‍යාංශයේදී හිටපු අග්‍රාමාත්‍ය සහ ජාතික අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය එලිසබෙත් බෝර්න් මහත්මිය සමඟ හමුවක් පැවැත්වීය. අධ්‍යාපනය, සාකච්ඡා අතරතුරදී උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව, ඉන්දියානු සාගරයේ සහයෝගීතාව, සමුද්‍රීය කටයුතු, දේශගුණික ක්‍රියාකාරකම්, සහ ඉහළ මට්ටමේ සංචාර හුවමාරුව ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය. එසේම මම සංචාරයේදී ශ්‍රී ලංකාව - ප්‍රංශය ද්විපාර්ශ්වික සබඳතාවල ඉහළ නැංවීමේ හැකියාවන් දෙපාර්ශ්වයම සැලකිල්ලට ගත් අතර, පවතින සහයෝගීතාවයන් තවදුරටත් ගොඩනැගීම සඳහා ඇති පොදු උනන්දුව නැවත අවධාරණය කළහ.

ප්‍රංශ රජයේ ආරාධනයෙන්, අග්‍රාමාත්‍යවරිය මාර්තු 31 වන දින Musée de l’Homme හිදී Oceano Azul පදනම සහ Bloomberg Philanthropies සමඟ හවුල්කාරිත්වයෙන් ප්‍රංශ රජය විසින් සංවිධානය කරන ලද SOS සාගර සමුළුවේ සමාප්ති කොටසට ද සහභාගී විය. ලෝකය, සාගර දූෂණයෙන් හා දේශගුණික විපර්යාසවලින් පෙර නොවූ විරූ තර්ජනවලට මුහුණ දෙන බැවින් මුහුද ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට (UNOC3) සමගාමීව රාජ්‍ය නායකයින් සහ රජයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව සංවිධානය කරන ලදී.

සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු සාගරයේ හදවතේ පිහිටා ඇති දූපත් රාජ්‍යයක් ලෙස සාගර සංරක්ෂණය, තිරසාර සමුද්‍ර පාලනය, පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය සහ වැඩිදියුණු කළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කළේය. ජෛව විවිධත්ව ආරක්ෂාව, ප්ලාස්ටික් දූෂණය සහ තිරසාර හා ඔරොත්තු දෙන නිල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වැඩි දියුණු කළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ පෙනී සිටීම අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම වසරේ ජුනි මාසයේදී නීස් හි පැවැත්වීමට නියමිත UNOC3 සඳහා ශ්‍රී ලංකාවේ උනන්දුව ද ඇය නැවත අවධාරණය කළාය.

සමුළුව අතරතුර, අග්‍රාමාත්‍යවරයාට ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හමුවී සුබ පැතුම් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව ලැබුණි. ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය උණුසුම් සුබ පැතුම් එක් කළේය. සමුළුවේ සමාප්ති අදහස් දැක්වීම ජනාධිපති මැක්‍රොන් මහතා විසින් සිදු කරන ලදී. අග්‍රාමාත්‍යවරිය මොනාකෝ හි II වැනි එච්.එස්.එච්. ඇල්බට් කුමරු, චිලී හිටපු ජනාධිපති සහ හිටපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් සහ සමුළුවට සහභාගී වූ යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා මහතා සමඟ ද අදහස් හුවමාරු කර ගැනිණි..

2025 අප්‍රේල් 2 වන දින ප්‍රංශ සෙනෙට් සභාවේදී ප්‍රංශ - ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිනිය විසින් අග්‍රාමාත්‍යවරියට උදෑසන භෝජන සංග්‍රහයක් පිලිගැන්වින.. මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිනි සෙනෙට් සභික වැනිනා පාඕලි-ගගින් මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය සෙනෙට් සභාවට උණුසුම් ලෙස පිළිගත් අතර සාකච්ඡාවලදී ප්‍රංශ - ශ්‍රී ලංකා සබඳතාවල වැදගත්කම, විශේෂයෙන් ඉන්දියානු සාගරයේ සන්දර්භය තුළ පවතින සහයෝගීතාවයන් සහ මිත්‍රත්වය තවදුරටත් ඉහළ නැංවීමේ මාර්ග අවධාරණය කරන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෑතකදී පිහිටුවන ලද ශ්‍රී ලංකා - ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම සෙනෙට් සභික කණ්ඩායම විසින් සාදරයෙන් පිළිගන්නා ලද අතර, අගමැති අමරසූරිය, කණ්ඩායමේ අනුශාසක තනතුර දරයි. පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් දෙක අතර සංචාර හුවමාරුව පිළිබඳවද සාකච්ඡා කෙරිණි. සෙනෙට් සභික සිල්වි ගෝයි-චාවෙන්ට්, ඩැනී වටෙබ්ලඩ්, ඩිඩියර් මාරි සහ විවෙට් ලෝපෙස් යන මිත්‍රත්ව කණ්ඩායමේ සෙනෙට් සභිකයින්ගේ කණ්ඩායමක් සෙනෙට් සභික පාඕලි-ගගින් සමඟ මේ සඳහා සහභාගී විය.

රැස්වීමෙන් පසු, සෙනෙට් මිත්‍රත්ව කණ්ඩායම ඓතිහාසික සෙනෙට් ගොඩනැගිල්ලේ (ලක්සම්බෝග් මාලිගාව) නිල සංචාරයක් සඳහා පහසුකම් සැලසූ අතර, ඓතිහාසික සෙනෙට් පුස්තකාලයේ තබා ඇති ගෞරවනීය පොතට අත්සන් තැබීමට අග්‍රාමාත්‍යවරියට ආරාධනා කරන ලදී.

කීර්තිමත් ප්‍රංශ විශ්ව විද්‍යාලයක් වන ScinecesPo හි ආරාධනයෙන්, අගමැති අමරසූරිය "ශ්‍රී ලංකාවේ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සමඟ මිනිත්තු 60" යන මාතෘකාව යටතේ සිසුන් සමඟ අන්තර්ක්‍රියාකාරී සැසියකට ද සහභාගී වූ අතර, එය CNRS හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ CERI හි අධ්‍යක්ෂ මහාචාර්ය ක්‍රිස්ටෝෆ් ජැෆ්‍රෙලොට් විසින් මෙහෙයවන ලදී. මෙම උත්සවය CERI හි පැරිස් ජාත්‍යන්තර කටයුතු පාසල සහ දකුණු ආසියානු වැඩසටහන විසින් සංවිධානය කරන ලද අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන්, දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ භූ දේශපාලනය, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති අත්‍යවශ්‍යතාවයන් මෙන්ම දේශගුණික විපර්යාස සහ සංක්‍රමණය වැනි අදාළ බහුපාර්ශ්වික ගැටළු ඇතුළු අනෙකුත් මාතෘකා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සමඟ සජීවී ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වූ අතර සිසුන් 250 කට අධික පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍යවරිය විද්‍යා අධ්‍යක්ෂ පෝ ලුයිස් වාසි මහතා ද හමුවූ අතර, කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ සයන්සස්පෝ අතර අඛණ්ඩ අධ්‍යයන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක නිරත වූවාය. ශ්‍රී ලංකා අධ්‍යයනයන් පිළිබඳ විශේෂඥයෙකු වන පැරිසියේ ඉනාල්කෝ (ජාතික පෙරදිග භාෂා සහ ශිෂ්ටාචාර ආයතනයේ) ඉතිහාසය පිළිබඳ සම්මානිත මහාචාර්ය එරික් මේයර් සමඟ ද ඇය සාකච්ඡා පැවැත්වුවාය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ ඉගැන්වීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ යුරෝපීය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර හවුල්කාරිත්ව ගිවිසුමක්” අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රංශ භාෂා ඉගැන්වීම සඳහා සහාය වීම මෙම ගිවිසුමේ සන්දර්භය තුළ සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍යවරිය ලෝක ප්‍රකට ආසියානු කලා එකතුවක් ඇති ප්‍රංශ ජාතික ආසියානු කලා කෞතුකාගාරය වන මියුසි ගුයිමෙට් නැරඹීමටද ගියාය. කෞතුකාගාරයේ ඇති ශ්‍රී ලංකාවේ කෞතුක වස්තු කිහිපයක් ද භාරකරුවන් විසින් අග්‍රාමාත්‍යවරියට පෙන්වීය.

අගමැතිවරිය ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිසට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් යන අය ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ලෝක උරුමයක් වූ අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත් වීම අගය කළ යුතුයි. - ප්‍රංශයේ පැවති යුනෙස්කෝ ජාත්‍යන්තර සමුළුව අමතමින් අගමැති හරිනි කියයි.

අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක්

මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බවත්, අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ප්‍රංශයේ, යුනෙස්කෝ මූලස්ථානයේ අප්‍රේල් 01 වන දින ’ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් වූ අනුරාධපුර පූජා නගරය සුරක්ෂිත කිරීම සඳහා ඒකාබද්ධ සහ තිරසාර ප්‍රවේශයක්’ශ මැයෙන් පැවති ජාත්‍යන්තර විශේෂඥ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධාන කළ මෙම සමුළුව, සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසර උපායමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

යුනෙස්කෝව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවට වසර 75ක් සපිරෙන මොහොතක යුනෙස්කෝ ජාත්‍යන්තර සමුළුව අමතන්න ලැබීම සතුටක්. එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය පසුගිය ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසයි අනුරාධපුරය සංරක්ෂණය කිරීම වෙනුවෙන් වන මෙම සමුළුව පැවැත්වෙන්නේ.

යුනෙස්කෝ සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහයෝගීතාවය ශක්තිමත් කිරීමටත්, අන්තර් සංස්කෘතික සංවාදය, උරුමයන් සංරක්ෂණය, අධ්‍යාපනය, තිරසාර සංවර්ධනය සහ තාක්‍ෂණික සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යාමටත් මෙම සමුළුව ශක්තියක් ලබා දෙනවා.

අනාගත පරපුර සඳහා සංස්කෘතික උරුමය ආරක්ෂා කර පවත්වාගෙන යාමේ වගකීම ශක්තිමත් කිරීමට ගෝලීය නායකයෙකු ලෙස යුනෙස්කෝවේ සහයෝගය ශ්‍රී ලංකාවට වෙන කවරදාටත් වඩා වැදගත් කාල වකවනුවක අපි සිටින්නේ. සංස්කෘතිය සඳහා පෙර නොවූ විරූ පිළිගැනීමක් ලබා ගැනීම, ගෝලීය සාමය සහ සංවර්ධනය සඳහා දැනුම සහ නවෝත්පාදන උපයෝගී කර ගැනීම, AI භාවිතය සදාචාරාත්මක ලෙස යොදා ගැනීම, තිරසර අධ්‍යාපනය, සමුද්‍ර ජෛව විවිධත්වය සහ සංරක්ෂණය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් යුනෙස්කෝව ගන්නා ක්‍රියාමාර්ග ඉතා වැදගත් වගේම කාලෝචිතයි.

සංස්කෘතික ත්‍රිකෝණයේ පිහිටා ඇති අනුරාධපුර සහ පොළොන්නරුව රාජධානිවල පැවති ඉතා දියුණු ශිෂ්ටාචාරය සහ සෞන්දර්යය සංරක්ෂණය කිරීමට 1980 ගණන්වල සිට යුනෙස්කෝවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

පටු දේශපාලන වාසි වලට විරුද්ධ සහ ජනතාව බෙදනවට අකමැති මිනිසුන් තමයි මේ ජාතික උරුමයන් ආරක්ෂා කරන්න කැපවී කටයුතු කළේ. අපේ රජය ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. රජය උත්සාහ කරන්නේ සියලු දෙනාට සමාන අයිතිවාසිකම් හිමිවන සියලු දෙනා එකතු කරගත් සමාජයක් ගොඩනගන්න.

ඉදිරියේදී ශ්‍රී ලංකාව, අනුරාධපුරය, යාපනය සහ මහනුවර නගර තුනක් ජාතික උරුම නගර ලෙස සංවර්ධනය කිරීමට අපේ රජය සැලසුම් කර තිබෙනවා.

මෙහිදී මියන්මාරයේ සහ තායිලන්තයේ සිදුව ඇති ව්‍යසනය සම්බන්ධයෙන් රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය ප්‍රකාශකරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ, ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුලු ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් සහ ජාත්‍යන්තර විශේෂඥයින් පිරිසක් මෙම සමුළුවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය