ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළේ 2026 ජනවාරි 29 සහ 30 යන දෙදින තුළ ග්‍රෑන්ඩ් මොනාක් පරිශ්‍රයේදී පැවැති, වෘත්තීය අධ්‍යාපන අංශයට අනුබද්ධ ආයතනවල අයවැය හා උපාය මාර්ගික සැලසුම්කරණය පිළිබඳ වැඩමුළුව අමතමිනි.
වෘත්තීය අධ්‍යාපන අංශයට අනුබද්ධ විශ්වවිද්‍යාල දෙකක් ඇතුළු ආයතන නවයක ප්‍රධානීන් සහ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මට අනුකූලව ප්‍රධාන ආයතනවල සංවර්ධන සැලසුම් සහ ඒවාට අනුයුක්ත සෙසු ආයතනවල සැලසුම් පෙළගැස්වීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
අධ්‍යාපන ආයතන මඟින් වෘත්තීය දැනුම සහිත පුද්ගලයින් බිහි කරනවා සේම, ඔවුන් තුළ මානව දයාව, සහකම්පනය, අන්‍යයන් කෙරෙහි දක්වන කරුණාව සහ සදාචාරාත්මක වටිනාකම් වර්ධනය කිරීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. මෙහි අරමුණ මානව දයාවෙන් පිරිපුන් වෘත්තිකයෙකු නිර්මාණය කිරීම බවත් සඳහන් කළාය.
විශේෂයෙන්ම, ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයට පිවිස තම අනාගතය ජය ගැනීමට ඇති මාවත් තවදුරටත් පුළුල් කිරීම රජයේ වගකීමක් බව ද මෙහිදී සඳහන් කළාය.
AI විප්ලවය සහ වෘත්තීය අධ්‍යාපනයේ අනාගතය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය. කෘතිම බුද්ධිය (AI) නිසා ලෝකයේ රැකියා වෙළඳපොළ සහ වෘත්තීය ක්ෂේත්රයන්හි සිදුවන වෙනස්කම් පිළිබඳව තවමත් ලෝක මට්ටමින් නිසි අවබෝධයක් ගොඩනැගී නොමැති බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වෘත්තීය අධ්‍යාපන ධාරාව සාමාන්‍ය අධ්‍යාපන ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම මෙකල අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
"AI තාක්ෂණය හරහා සිදුවන විප්ලවය බොහෝ විට ලාභය මුල් කරගත් එකක්. අතීත කාර්මික විප්ලවයන්හිදී අප සූරාකෑමට ලක් වූවාක් මෙන්, මෙම විප්ලවය තුළ අප අතරමං නොවීමට වගබලා ගත යුතුයි. අප හුදු දත්ත සැපයුම් මධ්‍යස්ථානයක් (Data Center) පමණක් නොවිය යුතුයි," යනුවෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
කෙසේ වෙතත්, ඉගැන්වීම් කටයුතු මාර්ගගත (Online) ක්‍රමයට සිදු කළ හැකි වුවද, දරුවන් රැකබලා ගැනීම සහ සාත්තු සේවය වැනි මානුෂීය බැඳීම් සහිත වෘත්තීන් සඳහා තාක්ෂණයෙන් එල්ල වන බලපෑම අවම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෘදු කුසලතා (Soft Skills) සංවර්ධනය සහ මානවවාදී ප්‍රවේශයක වැදගත්කම පැහැදිලි කළාය.
නම්‍යශීලී අධ්‍යාපන අවස්ථා සහ ගුණාත්මකභාවය
සිසුවෙකුට වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ ආචාර්ය උපාධිය දක්වා අඛණ්ඩව ගමන් කිරීමටත්, රැකියාවක නිරත වෙමින් නැවත අධ්‍යාපනයට පිවිසීමටත් (Lateral Entry) හැකි නම්‍යශීලී අවස්ථා නිර්මාණය විය යුතුය. එලෙස පද්ධතිය නම්‍යශීලී වන අතරම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළින්ම පවත්වා ගැනීම විශ්වසනීයත්වය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය බව ද මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස, සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක, NIBM ආයතනයේ සභාපති ආචාර්ය ජී. තන්තිරිගම සහ අධ්යක්ෂ ජනරාල් ඩී.එම්.ඒ. කුලසූරිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය