වතු ආශ්‍රිත පාසල් දරුවන්ගේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් ලබා දීම කෙරෙහිත් රජයේ අවධානය යොමු කර තිබෙනවා
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත් එක් එක් පාසල්වල තත්ත්වය පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
වතු ආශ්‍රිත පාසල් පිළිබඳ පාර්ලිමේන්තුවේ අද (09) පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
දිට්වා සුළිකුණාටුවෙන් වතු ආශ්‍රිත පාසල්වලට සිදුව ඇති හානිය සහ ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත්, වතු ආශ්‍රිත පාසල්වල ඉඩම් පිළිබඳ පවතින ගැටලු, ගුරු පුරප්පාඩු, පාසල් සංවර්ධනය සහ නැවත ඉදිකිරීම් ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. දිට්වා සුළිකුණාටුවෙන් පූර්ණ හානි, අර්ධ හානි සිදු වූ සහ වෙනත් ස්ථානයකට ගෙන යායුතු ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත් පාසල් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් පාසල් යළි යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් රජය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව අදාල ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
දිට්වා සුළිකුණාටුවෙන් පසු පළාත් සභා හරහා විවිධ තොරතුරු ලබා දීමට නිලධාරීන්ට සිදුව තිබෙනවා. ඒනිසා අමාත්‍යංශය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කර දත්ත ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. හානියට පත් පාසල්වල දරුවන් වෙනත් පාසල්වලට අනියුක්ත කළ පමණින් සියල්ල නිවැරදි වෙන්නේ නැහැ. ඒ දරුවන් නිවැරදව පාසලට පැමිණෙනවාද?, අධ්‍යාපනය ලබනවද? , ඔවුන්ට මුහුණ දෙන්න වෙන දුෂ්කරතා මොනවද? කියලා පසුවිපරමක් සිදු කරන්න අවශ්‍යයි.
සමහර පාසල්වලට දරුවන් අනියුක්ත කළත් දරුවන් පාසලට ගිහින් නැහැ ඒ දරුවන්ට මොකක්ද වුණේ කියලා කඩිනමින් සොයන්න. ඒ වගේම තාවකාලික පාසල් ඉදිකිරීම කෙරෙහිත් කඩිනම් අවධානය යොමු විය යුතුයි. සියලු දරුවන් වෙනුවෙන් රජයක් ලෙස අපි මැදිහත් වෙනවා, නමුත් ඒ වෙනුවෙන් නිවැරදි දත්ත අපිට අවශ්‍යයි. වතු ආශ්‍රිත පාසල් සඳහා වෙනම නිලධාරියෙක් සිටිනවා ඒ අය සම්බන්ධිකරණය කරගෙන නිවැරදිව දත්ත ලබා ගන්න කටයුතු කරන්න. පළාත් අධ්‍යාපන අධ්‍යකෂකවරුන් වගේම පළාත් සභා නිලධාරින්වත් මේ සඳහා නිවැරදිව සම්බනධිකරණය කළ යුතුයි. මන්ත්‍රිවරුන් ලෙස ඔබත් මේ වෙනුවෙන් මැදිහත් වෙන්න අවශ්‍යයි.
දෙමළ මාධ්‍ය පාසල් සඳහා පවතින ගුරු පුරප්පාඩු සඳහා වෙනම දමිළ ගුරුවරුන් පුහුණු කරන්න අපි කටයුතු කරමින් යනවා ඒ වගේම මෙවර ගුරුවරුන් බඳවා ගැනීමේදි පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සියයට පනහක් සම්පූර්ණ කරන්න කටයුතු කරනවා. පත්වීම් ලබා දුන්නම නියමිත පාසලේ වසර පහක් සේවය කළ යුතුයි.
වතු ආශ්‍රිත පාසල් දරුවන්ගේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීම වගේම වෘත්තීය අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් ලබා දීම කෙරෙහිත් රජයේ අවධානය යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න, සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන බලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය