​කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීම අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි.

කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට රුපියල් මිලියන 2,162ක්.

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය අප්‍රේල් 09 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.

​ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම "දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය දායකත්වය සහ රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 2,162කට අධික මුදලක් ආයෝජනය කෙරේ.

​ඉදිරි මාස 15 ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා දෛනිකව දුම්රිය සේවාව භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැලසීමට අපේක්ෂිතය. එහි ප්‍රධාන අංග කිහිපයකි.

ඒ අතර සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට නවීන ස්වයංක්‍රීය ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධති හඳුන්වා දීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට බාධාවකින් තොරව ගමන් කළ හැකි වන පරිදි නවීන විදුලි සෝපාන (Lifts) සහ ගුවන් පාලම් පද්ධති ඉදි කිරීම, මගී ආරක්ෂාව තහවුරු කෙරෙන නව ගොඩනැගිලි සංකීර්ණ සහ උසස් ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම සිදු කෙරේ.

​මෙම ව්‍යාපෘතිය නිම වීමත් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගී කේන්ද්‍රීය, කාර්යක්ෂම සහ නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

දියුණු පොදු ප්‍රවාහනයක් නැති රටක් දියුණු රටක් ලෙස සලකන්න බැහැ. අපගේ ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් සහ ගෞරවාන්විතව සේවා ලබාගත හැකි තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම බව පැවසුවාය.

​මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න ගුණසේන සහ එරංග ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එසේම කොළඹ උප නගරාධිපති හේමන්ත වීරසිංහ, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය