භාෂා උරුමය සුරැකීම ලෝකයේ විවිධත්වය රැකගැනීම සඳහා වන පොදු වගකීමක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

භාෂාමය උරුමයන් සුරක්ෂිත කිරීම සංස්කෘතික වගකීමක් පමණක් නොව, එය ලෝකයේ පවතින විවිධත්වය රැකගැනීම සඳහා වූ පොදු කැපවීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ අද (13) පැවැති ’ජාත්‍යන්තර මව් භාෂා දින’ සැමරුම් උළෙලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා බාලදක්ෂ සහ බාලදක්ෂිකා සංගම්වල සහයෝගය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර විවිධ හඬවල්, පොදු මනුෂ්‍යත්වය’ යන්න මෙවර තේමාවයි.

මෙහිදී ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන ලද චිත්‍ර, රචනා සහ කෙටි වීඩියෝ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ පාසල් දරුවන්ට සහතික පත්‍ර සහ සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජාත්‍යන්තර මව් භාෂා දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා බංග්ලාදේශය ගත් මූලිකත්වය අගය කරනවා. එය ජාතික සැමරුමක සිට ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්තමානය වන විට පරිවර්තනය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින බහුවිධ භාෂාමය උරුමය කළමනාකරණය කළ යුතු අභියෝගයක් නොව, අගය කළ යුතු ශක්තියක් බව අපි අවබෝධ කර ගතයුතුයි.

භාෂා අයිතීන් සුරක්ෂිත කිරීම හරහා සමාජ සහජීවනය ගොඩනැගෙනවා වගේම බහුභාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මගින් අනාගත පරපුර බල ගැන්විය යුතුයි.

වර්තමාන ඩිජිටල් ලෝකය තුළ බොහෝ භාෂා අභාවයට යාමේ අවදානමක් පවතිනවා, තාක්ෂණය සහ ප්‍රතිපත්ති හරහා එම භාෂා සුරැකීමට කටයුතු කළ යුතුයි.

මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට බංග්ලාදේශ මහ කොමසාරිස් Andalib Elias, නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, FAO ශ්‍රී ලංකා හා මාලදිවයින නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්වරුන් ඇතුළු තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ පාසල් දරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය