ආපදාවෙන් පසු යළි රට ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳව ලක් රජය, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරයි; රට යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට විදෙස් රටවල සහය දෙන්න සූදානම් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පැවති ආපදා තත්ත්වය හමුවේ මෙරට සිටින සංචාරක ප්‍රජාවට කිසිදු අනතුරක් හෝ හානියක් සිදුවී නැහැ

ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දෙසැම්බර් 4 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී විදෙස් නියෝජිතයින් ඇමැතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මෑත කාලයේ සිදු වූ ගංවතුර සහ නායයෑම් ව්‍යවසන තත්ත්වයන් හමුවේ විදේශ රටවලින් ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කළාය. ශ්‍රී ලංකාව මෑතකදී මුශුණ දුන් දරුණුතම ව්‍යසනය මෙය නමුත් ජනතාවගේ ශක්තිය සහ රජ්‍ය ආයතනවල මනා සම්බන්ධීකරණය සහ කැපවීම හේතුවෙන් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ දී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වූ බවත්, පැවති ආපදා තත්ත්වය හමුවේ මෙරට සිටින සංචාරක ප්‍රජාවට කිසිදු අනතුරක් හෝ හානියක් සිදුවී නොමැති බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය තහවුරු කළාය.

මාර්ග අවහිරතා හේතුවෙන් ප්‍රවේශය සීමා වී තිබූ ප්‍රදේශවලට දැන් ළඟා විය හැකි බවත්, පොදු ස්ථාන සහ නිවාස යථා තත්ත්වයට පත් කරමින් ආරක්ෂිත බව සහතික කිරීම සඳහා දැවැන්ත මෙහෙයුම් දියත් වෙමින් පවතින බවත්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල සන්නිවේදනය කටයුතු සහ විදුලිය ලබා දීම යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළා ය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, සෞඛ්‍ය සේවකයින්, ස්වේච්ඡා සේවකයින් සහ පළාත් පාලන ආයතනවල එකමුතුකම සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අවතැන් ජනතාවට සහන ලබා දීම , අවධානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් සහ අනතුරට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙවුම් මෙන්ම හදිසි ආධාර බෙදා හැරීම් කඩිනමින් සිදු වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය, නැවත පදිංචි කිරීම සහ දිගුකාලීන වශයෙන් ආපදා අවම කිරීම ඇතුළු පවත්නා අභියෝගවලට මුහුණ දීම සඳහා මිත්‍ර රටවලින් තාක්ෂණික, මානුෂීය සහ මූල්‍යමය සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය පවසා සිටියා ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) මහතා,

ව්‍යවසන තත්ත්වය හමුවේ දැනට බලපෑමට ලක් ව ඇති පවුල් සංඛ්‍යාව ගණනය කිරීම, ආපදා සහන මධ්‍යස්ථාන පවත්වා ගැනීම, හානි තක්සේරු කිරීම් සහ යළි ගොඩනැංවීමේ සැලසුම් සඳහා ජාත්‍යන්තර ආයතන සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු කරන බවත්, පැවති සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 22 කට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර ඇතැමි ස්ථානවලට මිලි මීටර් 540 ක පමණ වර්ෂාපතනයක් සහ සුළගේ වේගය පැයට කිලෝමීටර 70- 80 දක්වා වාර්තා වූ බවත් පැවසීය. එමඟින් විශාල ලෙස රටේ යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බවත්, මුලික තක්සේරු කිරීම්වලට අනුව මිලියන 2.3 ක පිරිසක් ගංවතුරෙන් ආපදාවට ලක් වී ඇති බවත්, ඉන් මිලියන 1.8 ක ජනතාවක් සෘජුවම බලපෑමට ලක්ව ඇති බවත්, ඒ අතර ගැබිනි කාන්තාවන් 40,152 ක් සිටින අතර, ඔවුන්ට සහාය ලබා දීම සඳහා රජය ප්‍රමුඛතාවය ලඹ දී ඇති බවද පැවසුවේය.

ඉඩම් හෙක්ටයාර මිලියන 1.1 ක් බලපෑමට ලක්ව ඇති බවත්, අපදා තත්වයෙන් යළි ගොඩනැගීමට සහ අපදා හානි අවම කර ගැනීම වෙනුවෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, සිතියම්කරණ නවීන ක්‍රියාවලි සහ දේශගුණික ප්‍රතිචාර තාක්ෂණයන් වැනි තාක්ෂණික සහයෝගීතාවය තවදුරටත් විදෙස් සහය අවශ්‍ය වන ක්ෂේත්‍ර බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා,

අපදා තත්වය හමුවේ වවද ප්‍රධාන සංචාරක කලාප තවමත් සක්‍රියව ක්‍රියාත්මක වන බවත්, එම ස්ථානවල ආරක්ෂාව සහ තක්සේරු කිරීම් සිදුවෙමින් පවතින බවත්, ඉදිරි ආපදි තත්ත්වයන් හමුවේ විදේශකයින්හට සහාය වීමට සහ සංචාරක කර්මාන්තය ආරක්ෂා කිරීමට නිසි පියවර ගෙන ඇති බවත් පැහැදිලි කළේය.

මාරවිල සිට පාසිකුඩා දක්වා වෙරළබඩ ප්‍රදේශ සහ නිවාඩු නිකේතන නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, එම ප්‍රදේශවල බොහෝ විදේශිකයින් දැනටමත් නවාතැන් ගෙන සිටින බව වාර්තා වී ඇති බවත් පැවසීය. නුවරඑළිය ප්‍රදේශයේ හෝටල් අර්ධ වශයෙන් ක්‍රියාත්මක බවත් පැවසූ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා ශ්‍රී ලංකවේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමට සහයෝගය ලබා දෙන මෙන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය.

පීඩාවට පත් ශ්‍රි ලාංකික ජනතාවට සිය ශෝකය පළ කළ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, සහන කටයුතු සහ රට නැවත ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට දිගුකාලීනව සහාය වීමට තම රජයන් සූදානමින් සිටින බව තහවුරු කළේය. අපදා තත්වය සමග උද්ගතව ඇති අර්බුද සහ අභියෝග කළමනාකරණය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන විනිවිදභාවයකින් යුතු මැදිහත්වීම සහ සම්බන්ධීකරණය විදෙස් නියෝජිතයින් පැසසුමට ලක් කළේය.

අපදා තත්වය හමුවේ විදෙස් රටවලින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රට නැවත ගොඩ නැගීමට රජයේ කැපවී කටයුතු කරන, බව අවධාරණය කළා ය. ආපදා තත්වයන් සඳහා පෙර සූදානම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතනික ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉලක්කයක් බව ද අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළාය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහතමීන් ඇතුළු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නියෝජිතයින් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය