ආර්ථික වශයෙන් වැදගත් කර්මාන්තශාලා, උසස් අධ්‍යාපන ආයතන ඇතුළු ස්ථාන රාශියකට ප්‍රවේශ පහසුකම් සපයන රත්මලාන කඳවල මාර්ගය සහ දෙපස කානු පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අද (31) දින බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
මාර්ගය දෙපස පිහිටි කානු පද්ධතියේ පවතින අවහිරතා හේතුවෙන් වර්ෂා කාලයේදී මාර්ගය සහ දෙපස ගොඩනැගිලි නිරන්තරයෙන් ජලයෙන් යටවන අතර එමගින් ප්‍රදේශවාසීන්, ආයතන වෙත පැමිණෙන සේවාලාභීන් සහ සේවකයන් ඇතුළු විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වෙන බවත්, මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් විශාල ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ රැසක් අත්වන නමුත්, වසර ගණනාවකින් නිසි නඩත්තුවක් සිදු නොවීම නිසා ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් පවා සිදුව ඇති බවත් මෙහිදී අනාවරණය විය.
රත්මලාන කඳවල මාර්ගයේ ජල බැසයාම නිසි පරිදි සිදු නොවීමට බලපා ඇති ප්‍රධාන හේතු කිහිපයක් සාකච්ඡාවේදී හඳුනා ගැනුණ අතර වැසි ජලය බැසයාමට බාධා වන ලෙස සිදුකර ඇති අනවසර ඉදිකිරීම්, කානු පද්ධතිය නිසියාකාරව සුද්ධ පවිත්‍ර කර නඩත්තු නොකිරීම සහ පවතින බෝක්කු හා පාලම් වර්තමාන අවශ්‍යතාවලට සරිලන පරිදි විශාල නොවීම ඒ අතර ප්‍රධාන වේ.
එමෙන්ම ජලය ගලාබසින වේරැස්ස ගඟෙහි සහ කානු පද්ධතියේ පිහිටීම අතර උසෙහි පරතරය අවම වීම මෙන්ම ප්‍රදේශයේ භූගත ජල මට්ටම පොළොව මතුපිට ස්තරයට ඉතා ආසන්නයෙන් පිහිටීම ද මෙම ජල ගැලීම් තත්ත්වයට හේතු වී ඇති බව මෙහිදී අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, අදාළ ඉඩම්වල අයිතිය පිළිබඳ පවතින ගැටලු සහ කානු පද්ධතියේ හා ඇළ මාර්ගවල නඩත්තු කටයුතු අයත් ආයතන නිවැරදිව හඳුනා නොගැනීම මෙම අර්බුදය විසඳීමට ප්‍රබල බාධාවක් වී ඇති බවයි. එබැවින් පටු ආයතනික හා රාජකාරී සීමාවල නොසිට සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
ජනතාවට, විදේශ විනිමය උපයන කර්මාන්තශාලාවලට මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවලට සේවයක් සැලසෙන පරිදි සකස් කෙරෙන අවසාන සැලසුමට ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමද අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මේ වන විටත් මෙයට අදාළ සැලසුමක් සකස් කර ඇති අතර, පාර්ශ්වකාර ආයතන එක්ව ගැටලු නිරාකරණය කරගැනීමෙන් පසු බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මෙම සාකච්ඡාව සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණආරච්චි, රත්මලාන සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මාර්ග අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්, දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ඇතුළු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය