’වගකිවයුතු රජයක් ලෙස, දරුවන්ගේ අයිතිවාසිකම් ඉහළ නැංවීම හා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය යොදාගැනීමට සහතික විය යුතුයි.’ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ළමයින් සඳහා මූල්‍ය නියෝජනයේ වැදගත්කම අවධාරණය කරමින් අග්‍රාමාත්‍යතුමිය පවසන ලද්දේ "රජයේ අයවැය, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සඳහන් කරන ළමා අයිතිවාසිකම් හා ළමා සුභසාධනය සත්‍යාපනය කිරීම සඳහා පවතින බලවත්ම සාධකයක් බවත්. එමෙන්ම වගකිවයුතු රජයක් ලෙස, දරුවන්ගේ අයිතිවාසිකම් ඉහළ නැංවීම හා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය යොදාගැනීමට සහතික විය යුතු බවයි.

අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ “Financing What Matters: Strengthening Public Financial Management for Inclusive Social Outcomes for Children and Families” මැයෙන් සැප්තැම්බර් මස 03 හා 04 දෙදින කොළඹ NH Collection හෝටලයේ පැවැත්වෙන EU-UNICEF Public Finance Facility නම් කළාපීය දැනුම් හුවමාරු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. යුරෝපා සංගමයේ සහයෝගයෙන් UNICEF ආයතනය සංවිධානය කළ මෙම වැඩසටහන ආසියාවේ රාජ්‍ය මූල්‍ය කළමණාකරන, අයවැය හා වියදම් කළමනාකරණ ප්‍රතිපත්ති සම්පාදකයින් හා මෙම ක්ෂේත්‍රයේ අන්තර්ජාතික පාර්ශවකරුවන් අතර දැනුම හුවමාරු කර ගැනීමට සංවාද අවකාශයක් ලෙස ක්‍රියාත්මක වේ.

අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් කියා සිටියේ, අප රජයේ සියළුම ප්‍රතිපත්තීන් දරුවන්ට ඉහළම අවශ්‍යතාව පිළිඹිඹු කරනවා. අපගේ රජය දරුවන් තබා ඇත්තේ අපගේ වගකීම් අතර හදවත ලෙසයි. එයින් වැඩි වශයෙන්ම පීඩාවට පත්වන දරුවන් ඇතුළු වැඩි අවදානම් පිරිසට ඇතිවන ආර්ථික අභියෝගයන්ගේ බලපෑම පිළිබඳ දැනුම්වත් භාවයෙන් යුතුව, රාජ්‍ය මුල්‍ය කළමණාකරණයේ දී ප්‍රමුඛතාවක් ලබා දෙමින් කටයුතු කරන බවත්ය.

මේ අනුව අප විසින් 2025 වර්ෂයේ අයවැය සඳහා ළමුන් කේන්ද්‍ර කරගත් විශේෂ මූල්‍යමය ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දී ඇත. නිවාසගත හෝ භාරකරුවන් භාරයේ සිටින දරුවන් සඳහා මාසික රු. 5,000ක දීමනාවක් ලබාදීම සඳහා රු. බිලියනයක් වෙන් කර ඇති අතර එයින් රු. 2,000ක් ළමයාගේ බැංකු ගිණුමට බැර කරනු ලබන අතර රු. 3,000ක් දරුවාගේ නඩත්තුව සඳහා ලබාදීම, ධාරිතාව වැඩි කිරීම, ව්‍යුහගත පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා සහතිකලත් ළමානිවාස ආයතන 379කට රු. මිලියන 500ක් වෙන් කිරීම. එසේම, වයස අවු. 18 සම්පූර්ණ වී විවාහ වූ පසු දීර්ඝකාලීන ආරක්ෂාවක් සහතික කිරීම හා ස්ථාවර නිවෙස් ගොඩනැගීම සඳහා නිවාස ගත දරුවන්ට රු. බිලියනයක් වෙන් කිරීම සිදු කරනු ලැබ ඇති බවත්ය.

ඊට අමතරව, නිවාසගත දරුවන්ට අධිකරණයට ගමන් කිරීමට අවශ්‍ය ළමයින් සඳහා, ළමයින්ට උචිත ප්‍රවාහන පද්ධතියක් පිහිටුවීම සඳහා රු. මිලියන 250ක් වෙන් කර ඇත. ස්නායුගත ආබාධ සහිත ළමයින් (Neuro-Developmental Disabilities) (උදා: ඔටිසම්) සඳහා, ලේඩි රිජ්වේ ළමුන්ගේ රෝහලේ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රු. මිලියන 200ක් වෙන් කර ඇත. එමෙන්ම එම දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට ආකෘතිමය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා රු. මිලියන 250ක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.

මෙම අයවැය ප්‍රතිපාදන වෙන්කිරීම්, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා මෙතෙක් අයවැය තුළ ඉතිහාසගත වැඩිකිරීම වන අතර, අවදානම් තත්ත්වයන්ට ලක්වූ ළමයින් රැකදීම, පවුල් ශක්තිමත් කිරීම, සහ ශ්‍රී ලංකාවේ සැම ළමයෙකුට අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍යය සහ මානසික සහාය ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම වෙනුවෙන් අප රජයේ ඇති කැපවීම පිලිඹිබු කරන බවත්, නවෝත්පාදන පිළිගනිමින්, පීඩාවට පත්වන ජනකොටස් සඳහා සහය සපයමින් සහ තිරසාරබව අරමුණු කරගත් මූල්‍ය ප්‍රතිපත්තියකට අනුකූලව ක්‍රියා කිරීමෙන්, අද ඇති අභියෝග හෙට දින වර්ධනය සහ ප්‍රතිෂ්ඨාව වෙනුවෙන් අවස්ථා බවට පරිවර්තනය කර ගැනීමට අරමුණු කරන බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාළ කළාය.

මෙම වැඩසටහන ඇමතූ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නැගෙනහිර ආසියාව සහ සාමූහික සාගර කලාපීය කාර්යාලයේ උප කලාපීය අධ්‍යක්ෂ Myo Zin Nyunt මහතා සඳහන් කළේ,

“තාක්ෂණික උපදෙස්, පුහුණු කිරීම සහ ප්‍රතිපත්ති සංවාදයන් සඳහා අවකාශය ලබාදීම මඟින්, මෙම පහසුකම ශ්‍රී ලංකාව වැනි රටවලට වඩා හොඳ අයවැය තීරණ ගැනීමට මෙන්ම, සේවාවන් වඩා කාර්යක්ෂමව ලබාදීමට සහ තරුණයන් ඇතුළු රටේ පුරවැසියන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් කිරීම සඳහා උපකාරී වන බවයි.”

මෙම අවස්ථාව ඇමතූ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා යුරෝපා සංගමයේ තානාපති Carmen Moreno මහත්මිය විසින් සමාජයීය අංශයන් සඳහා වියදම් සැපයීමේ වැදගත්කම අවධාරණය කළ අතර ඇය සඳහන් කළේ මෙවන් අයෝජනයන් නොමැතිව සමාජයන්ට අනාගත අභියෝග ජය ගැනීම අසීරු වනු ඇති බවයි.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ කාර්යාල ප්‍රධානී Marc-André Franche, UNICEF ශ්‍රී ලංකා නියෝජිත Emma Brigham, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, Bangkok පිහිටි යුරෝපා සංගමයේ සහ UNICEF කලාපීය කාර්යාලවල නිලධාරින් සහ ශ්‍රී ලංකාවේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය