අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය ඇතුළු දූත පිරිස අතර නිල හමුවක් පෙබරවාරි 17 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ මෑතකාලීන ආර්ථික මෙන්ම ස්වාභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමට රජය දරන උත්සාහය මෙහිදී ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ ඇගයීමට ලක් විය.
සහයෝගීතාවය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ වැදගත්කම පෙන්වා දුන් ඇය, ’දිත්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආර්ථික වශයෙන් අවදානමට ලක්ව සිටින ප්‍රජාවන්ට එල්ල වූ දැඩි බලපෑම පිළිබඳව ද කරුණු සඳහන් කළාය.
දිත්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් අඛණ්ඩ සහයෝගය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් විය. ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සංවර්ධන ක්‍රියාවලිය හරහා ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙත සෘජුවම ප්රතිලාභ ලැබීමට අවස්ථාව සැලසිය යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
එමෙන්ම, සියලු දෙනා ඇතුළත් කරගත් (Inclusive) සංවර්ධනයක් සහතික කිරීම, සංචාරක ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ තිරසාර ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාව ද ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.
දැනුම ලබා ගැනීමට පමණක් සීමා නොවී, කුසලතා සංවර්ධනය සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මාණ්ඩලික ප්‍රධානී Andreas Bauer, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය Krishna Srinivasan, උපායමාර්ගික සන්නිවේදන අංශ ප්‍රධානී ආචාර්ය Pierre Mejlak, ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ආචාර්ය Martha Woldemichael, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ නියෝජ්‍ය අධිපති ආචාර්ය සී. අමරසේකර යන මහත්වරුන් සහභාගී වූහ.
මීට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ද මෙම සාකච්ඡාවට එක් වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය