පෙර පාසල් ගුරු පුහුණුව ක්රමාණුකූලව පවත්වා ගැනීමට හා පෙර පාසල්වල ගුණාත්මකභාවය තහවුරු කිරීමට රජය කටයුතු කරමින් යනවා
පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමටත්, පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්රමාණුකූලව පවත්වා ගැනීමට හා ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන (SBCC) එලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අද (10) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන කළාය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.
පූර්ව ළමා විය සංවර්ධනය, රටේ මානව සංවර්ධනයටත්, රටේ අනාගත අභිවෘද්ධියටත් ප්‍රධාන ලෙස බලපානවා. දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ පූර්ව ළමාවිය සංවර්ධනය මත බව අප සියලු දෙනාට පිළිගත හැකි සත්‍යයක්. දරුවාගේ වර්ධනයට අත්යවශ්යා බොහෝ දේ වයස අවුරුදු පහ දක්වා කාලය තුළදී දරුවා තුළ සිදුවෙනවා. ඒ කාලය තුළ දරුවා ලබන අත්දැකීම්, රැකවරණය, ලබන ආදරය තීරණාත්මකයි.
දරුවා වැඩිහිටියෙකු ලෙස ගොඩනැගීමට කුඩා කාලයේ ලබන සමාජානුයෝජන බලපෑම, අන්තර් සම්බන්ධතා, පරිසරයේ බලපෑම පාදක වෙනවා. පුද්ගලයෙකු වැඩිහිටියෙකු වූ පසු වෙනස් කිරීමට නොහැකි තරමට පූර්ව ළමාවිය සංවර්ධනය ජීවිතයට බලපානවා,
දරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව වැඩිහිටියන් දක්වන ප්‍රතිචාර ඔවුන් සමග ගනුදෙනු කරන ආකාරය ඔවුන්ට දක්වන රැකවරණය සියල්ල අතිශයින් වැදගත්. එබැවින් දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය දෙමව්පියන්ගේ වගකීමක් පමනක් ලෙස අපි කිසිවිටක සලකන්නේනේ නැහැ. එය සියලු පුරවැසියන්ගේ සාමූහික වගකීමක්.
අපට තනිව දරුවකු යහපත් පුරවැසියෙකු දක්වා ගොඩනැගී නොහැකියි. අපගේ ජීවිත දෙස බැලුවත් අපගේ දෙමව්පියන් වගේම අපේ ජීවිත වලට බලපෑම් සිදු කළ විශාල පිරිසක් සිටිනවා. අපට ආදරය දැක්වූ අපට රැකවරණය සැපයූ බොහෝ පිරිස් සිටිනවා. ඒ සියලු දෙනා දැක්වූ අනුග්‍රහය නිසා අද අපි මේ තත්ත්වයට පත් වී තිබෙන්නේ. දරුවන්ට රැකවරණය ලබාදීම සමාජ වගකීමක් ලෙස අපේ රජය දකිනවා. දරුවෙක් ගොඩනැගීම, රැකවරණය සැපයීම, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ලබාදීම සමාජ වගකීමක් බව ජනතාවට සන්නිවේදනය කිරීමට ක්ලින් ශ්‍රී ලංකා මැදිහත්වීම ඉතාමත් වැදගත්.
දරුවන් වෙනුවෙන් පෙර පාසල් ගුරුවරුන් විශේෂ කාර්යයක් සිදු කරනවා. දරුවන්ට එම අවධියේදී ලැබෙන ආදරය රැකවරණය මෙන්ම දරුවනට ඇහුම්කන් දීම ඔවුන්ට දක්වන ප්‍රතිචාරය දරුවන්ගේ වර්ධනයට තීරණාත්මකයි. දරුවන්ගේ ජීවිත තුළ ඔබ සිදු කරන්නේ තීරණාත්මක මැදිහත්වීමක්. පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැලසුම්කර තිබෙනවා. UNICEF ආයතනය මේ සඳහා අපට තාක්ෂණික සහයෝගය ලබා දෙනවා. පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමට කටයුතු කරමින් යනවා. පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්රමාණුකූලව පවත්වා ගැනීමටත්, ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර තිබෙනවා.
පූර්ව ළමා විය සංවර්ධනය අධ්‍යාපනය තුළ විශේෂ ක්ෂේත්රයක් බව හඳුනාගෙන ඒ වෙනුවෙන් මැදිහත්වෙන බවද අගමැතිතුමිය ප්‍රකාශ කළාය .
කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මැතිනිය අදහස් දක්වමින්
කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 2026 වර්ෂයේ මූලික ඉලක්කය ලෙස මුල් ළමාවිය සංවර්ධනය ප්‍රමිතිගත කිරීම සහ සංවර්ධනය කිරීමයි. මවගේ තුරුලෙන් වෙන්වී පියාගේ උරහිසෙන් මිදී පෙර පාසල් ගුරුවරු වෙත පැමිණෙන දරුවාට මවගෙන් පියාගෙන් ලැබුවා වූ ඒ උණුසුම ආදරය ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ගුරුවරුන්ගේ බැල්මෙන් ඔවුන්ගේ වචනයෙන් ඒ ආදරය දැනීමට සැලැස්වීම ගුරුවරු සතු කාර්යයක්, දරුවෙක් පරිසරයට ආදරය කරන්නත් අන් අයට ගරු කරන්නත් ඔවුන්ට ලැබෙන ඒ ආදරය හා ආරක්ෂිත පරිසරය බලපානවා.
මේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද මෙසේ අදහස් පළ කළේය.
අප බලාපොරොත්තු වන්නේ අනාගතයේ මේ රට භාර ගැනීමට ඉන්න පරම්පරාව, අද අපි මුහුණ දෙනා විවිධාකාර බාධක දුක් කම්කටොලු ආදී ප්‍රශ්නවලින් තොර ලස්සන පරම්පරාවක් බවට පත් කිරීමටයි .ඒ සඳහා සුදුසුම කණ්ඩායම මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා .
අපේ රටේ ජනතාව නීරෝගී පරපුර ලෙස ගොඩනැගීම අභියෝගයක් ලෙස බාරගන්නේ නම් විශේෂයෙන්ම බෝ නොවන රෝග වලින් දුරස් කිරීම අවශ්‍ය වෙනවා. අද අවුරුදු තුනක් පහත් අතර දරුවන්, 2040 වනවිට අවුරුදු 18 ත් 20 ත් අතර පරම්පරාවක්. මෙම පරම්පරාව බෝ නොවන රෝගවලින් ගලවා ගැනීම සඳහා මෙවැනි අඛන්ඩ වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ සඳහා ළමා වියටත් පෙර පූර්ව ජන්ම අවධියේදී ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන අවස්ථාද තිබෙනවා. පෙර පාසැල් හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරු ලෙස ඔබ භාරගන්නේ අනාගතයේ මේ රටේ දැවැන්ත පරිවර්තනයක් සඳහා සිදු කළ යුතු දවැන්ත කාර්යභාරයක්.
සබරගමු පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා, උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතා, වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (Unicef) ශ්‍රී ලංකාවේ නියෝජිත Emma Brigham මහත්මිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාණායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය සහ ආර්ථික කටයුතු) රසල් අපොන්සු මහතා, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්. පී. සී. සුගීෂ්වර මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විෂයානුබද්ධ අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් සභා නිලධාරීන්, පෙරපාසල් ගුරුවරුන්, පෙරපාසල් දරු දැරියන් සහ දෙමව්පියන් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය