දේශීය කර්මාන්ත නංවාලීම රජයේ ප්‍රමුඛතාවක්

INCO 2026 ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේදී අග්‍රාමාත්‍යතුමිය පවසයි

​දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අඛණ්ඩව 20 වන වරටත් සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ’INCO 2026’ කාර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට අද (13) පෙරවරුවේ එක් වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය මගින් සංවිධානය කරන INCO 2026 කර්මාන්ත ප්‍රදර්ශනය අද (13) සිට මාර්තු 15 දින දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

එහිදී ​වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද කීය.

​ඉංජිනේරු ක්ෂේත්‍රය කියන්නේ, රටක ප්‍රායෝගික ගැටලු විසඳන, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව ඉහළ නංවන ප්‍රධාන බලවේගයක්. විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාව නවෝත්පාදන සඳහා දිරිමත් කිරීමට මෙවැනි ප්‍රදර්ශන මගින් ලැබෙන පිටුබලය ඉතාමත් වටිනවා.

​රටේ කාර්මික සංවර්ධනය වේගවත් කිරීම සඳහා රජය විශේෂ පියවරයන් කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් ​ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය (NIIS) මගින් රටේ ආර්ථික හා කාර්මික ක්‍රියාකාරකම්වලට අදාළ දත්ත එක්රැස් කරන මධ්‍යගත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම ​ප්‍රතිචක්‍රීකරණ අරමුදල් (Revolving Funds) හරහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කරමින් තිබෙනවා.

​මෙවර ප්‍රදර්ශනය සඳහා විදේශීය රටවල සහභාගිත්වය ද හිමිවී තිබීම විශේෂත්වයක්, එමගින් දේශීය ව්‍යවසායකයන්ට නව වෙළඳපොළ අවස්ථා සහ ජාත්‍යන්තර තාක්ෂණය අත්හදා බැලීමට අවස්ථාව ලැබෙනවා. ​ඉංජිනේරුවන්, විද්‍යාර්ථීන් සහ ව්‍යවසායකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, රටේ කාර්මික අනාගතය වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ජාතික කඩදාසි සමාගමේ සභාපති උපාලි රත්නායක, ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනයේ සභාපති ඉංජිනේරු ආනන්ද ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් ආයෝජකයින්, ව්‍යවසායකයින් කර්මාන්තකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය