ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට සිය කුසලතා බාධාවකින් තොරව එළිදැක්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ අප්‍රේල් 07 වන දින IMRA පදනම විසින් සංවිධානය කරන ලද "IMRA විශිෂ්ටතා සම්මාන 2025" උළෙලට සහභාගී වූ අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළා ය .
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
"අද රාත්‍රිය අපි එක් වී සිටින්නේ ජයග්‍රහණය සැමරීමට පමණක් නොවේ, ශ්‍රී ලංකාව පුරා විහි දී සිටින මුස්ලිම් කාන්තාවන්ගේ නොසැලෙන දායකත්වය අගය කිරීමටයි. මෙවැනි කාන්තාවන් සඳහා ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමට මෙන්ම විශිෂ්ටත්වය සඳහා යන ගමනේ ඔවුන්ගේ කැපවීම සහ ධෛර්යය ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ලබා දීම සඳහා IMRA පදනමේ දායකත්වය අගය කළ යුතුයි.
නීති,සෞඛ්‍ය සේවා මෙන්ම අධ්‍යාපනය, මාධ්‍ය අංශ සහ ව්‍යවසායකත්වය දක්වා විවිධ ක්ෂේත්රවල රැකියාවේ නිරත ව සිටින මෙම කාන්තාවන් අපගේ සමාජයේ සිටින සාමාන්‍ය පිරිසක් පමණක් නොවේ, ඔවුන් එම ක්ෂේත්රවල අනාගත නිර්මාණකරුවන්.
අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා අංශ ඇතුළු තවත් බොහෝ ක්ෂේත්රවල ව්‍යවසායකත්වයේ කැපී පෙනෙන නවෝත්පාදනයන් මෙන්ම කැපවීම් අපිට දකින්න පුළුවන්. සමාජයේ මුල් බැස ගත් මතයන් හමුවේ අභියෝග නොතකා මෙම කාන්තාවන් ඔවුන් තෝරාගත් වෘත්තීන් තුළ කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගෙන අපගේ ජාතියේ වැදගත් බලවේගයක් බවට පත්ව ඇති බව පැහැදිලියි. මුස්ලිම් කාන්තාවන් පසුපස අසුන් ගත යුතු බවට ඇති යල් පැන ගිය මතය අප දුරු කළ යුතුයි. ඊට ප්රතිවිරුද්ධව, ඔවුන් දැන් වඩාත් ශක්තිමත් ව පෙරමුණ ගනිමින් සිටිනවා. ඔවුන් තම ප්‍රජාවන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ආදර්ශයක් .
ඒ අනුව මෙම කැපී පෙනෙන කුසලතා සහ දායකත්වය හඳුනා ගනිමින් පවතින සෘණාත්මක සමාජගත සංකල්ප සමාජය කෙතරම් නොමඟ යවන සුළු විය හැකි ද යන්න පෙන්වා දී එමඟින් ප්‍රජාව සඳහා ආදර්ශයන් නිර්මාණය කිරීම IMRA පදනමේ අරමුණ වී තිබෙන බව පැහැදිලියි.
මුස්ලිම් කාන්තාව පිළිබඳ සමාජගත සංකල්ප දුරු කිරීම වැදගත් වුවත්, සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිළිබඳ පවතින මතය බොහෝ දුරට ස්ත්‍රී විරෝධී මතයන්ගෙන් හැඩගැසී ඇති බව අප පිළිගත යුතුයි.
ගෘහස්ථ ප්රචණ්ඩත්වයේ ඉහළ මට්ටමක පැවතීම, අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපයෝජනය, දේශපාලන පසුබිම තුළ මෙන්ම තීරණ ගැනීමේ දී කාන්තා සහභාගීත්වයේ අඩු අනුපාතයක් පැවතීම, දේශපාලන මෙන්ම වෙනත් ඕනෑම ක්ෂේත්රයක කාන්තාවන්ට එරෙහිව සිදුවන මඩ ප්‍රහාර යන කරුණු සැලකිල්ලට ගත් විට මෙය පැහැදිලි වෙනවා.
මෙය යම් කිසි ප්රජාවකට සීමා වූ ගැටලුවක් නොවේ, ඊට එහා ගිය සමාජ ගැටලුවක් ලෙස හඳුනා ගැනීම මෙහිදී වැදගත් වෙනවා.
අද රාත්‍රියේ අප සමරන්නේ පුද්ගල ජයග්‍රහණ පමණක් නොවේ, ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ සාමූහික ශක්තිය සහ නොසැලෙන ධෛර්යයයි. දරුවෙකු ඇති දැඩි කිරීමට ගමක් අවශ්‍ය වනවා වගේම කාන්තාවන් ඉදිරියට ඔසවා තබන්නටත් ගමක සහයෝගය මෙන්ම තවත් බොහෝ දේ අවශ්‍ය වෙනවා. අද රාත්‍රියේ අප සමරන මෙම මොහොත ඉදිරි පරපුර ආලෝකමත් කරමින් බලාපොරොත්තුවක් එකතු කරයි.
අපි ඉදිරියට යන මේ ගමනේ, සෑම කාන්තාවකටම ඇගේ සිහින හඹා යාමට, මෙන්ම බාධක බිඳ දමා ජාතියේ උන්නතිය උදෙසා දායක වීමට හැකි පරිසරයක් ලබා දීමට කටයුතු කළ යුතුයි.
අද රාත්‍රියේ අප සමරන මේ ජයග්‍රහණ කාන්තාව සඳහා ඉදිරි මාවත සකසන බව සහතික කරමු."
මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින්, IMRA විශිෂ්ටතා සම්මාන නීති සහ උපදේශනය - ශායිඩා බැරී, කලා සහ සංස්කෘතිය - අමීනා හුසේන්, ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනය - රමෝලා රසූල්, සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව - මහාචාර්ය ෆසීහා නූර්දීන්, ගෘහ නිර්මාණ ශිල්පය - ෂෙහෙලා ලතීෆ්, මාධ්‍ය සහ සන්නිවේදනය - ශ්‍යාමා අකූබ් සහ IMRA නැගී එන තරුව සම්මානය - හම්නා කිසාර්, ක්‍රීඩා සඳහා - සාජිදා රසික්, අධ්‍යාපනය සඳහා - රිස්කා නවුෂාඩ්, ජීවිත කාලීන ජයග්‍රහණ සම්මාන සැන්ඩ්‍රා වඳුරගල, ශිවානන්දිනී දුරෛස්වාමි, සුනේලා ජයවර්ධන සහ අන්බෙරියා හනීෆා සම්මාන ලබා ගන්නා ලදි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, හිටපු දේශපාලනඥවරියක් වූ ෆෙරියල් අෂ්රොෆ් සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට දායක වීමට කැපවී සිටින විවිධ ක්ෂේත්රවල ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය