මැයි 16 වැනිදා පැවැත්වූ මාතර ඌරපොළ සිරි රතනජෝති පිරිවෙන් විද්‍යායතනයේ වජ්ර ජයන්තිය සැමරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය. මෙරට සංස්කෘතික විවිධත්වයට ගරු කරන , පරිසර හිතකාමී හා සොබා දහමේ පැවැත්ම පිළිබඳ ආකල්ප සංවර්ධනය වූ, ශාස්ත්‍රීය දැනුමෙන් සන්නද්ධ, මානවවාදී අනාගත පරපුරක් බිහි කිරීම වත්මන් රජයේ ප්රමුඛ අපේක්ෂාවක් බව උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය පැවසීය.
නව පුනරුද යුගයක් පිළිබඳ රජයේ අපේක්ෂාව දේශපාලනික, ආර්ථික ආගමික, අධ්‍යාපනික සහ සංස්කෘතික සියලු ක්ෂේත්රයන් දක්වා විහිදෙන්නක් බවත්, වර්තමානයේ පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය තුළ ඇති අර්බුද නිවැරදිව හඳුනාගෙන ඒවාට විධිමත්ව මැදිහත් වීමටද රජය අපේක්ෂා කරන බවත් අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
රාජකීය පණ්ඩිත කඹුරුපිටියේ වනරතන මහා නායක හිමිපාණන් වහන්සේගේ අනුස්මරණ කෞතුකාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරියගේ මූලිකත්වයෙන් සිදුවූ අතර, සංවත්සරයට සමගාමීව එළිදක්වනු ලැබූ " රුවන්දෝ " ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය ශ්‍රී රෝහණ සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ගෝණදෙණියේ තපස්සි ස්වාමීන්වහන්සේ විසින් අග්‍රාමාත්‍යවරිය වෙත මෙහිදී ප්රදානය කිරීමද සිදුවිය.
මෙම අවස්ථාවට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක ශාස්ත්‍රපති පූජ්‍ය අගලකඩ පියසිරී මහා නායක ස්වාමීන් වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අග්ග මහා පණ්ඩිත පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා පෝල්රාජ්, දකුණු පළාත් ආණ්ඩුකාර එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය