සමාජයට නිවැරදි මඟ පෙන්වන, ජාතික සමගිය ඇතිකරන ස්ථාන බවට ආගමික ස්ථාන පත් කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන්න රජයක් ලෙස අප සූදානම් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විහාරස්ථාන ඇතුළු සියලු ආගමික ස්ථාන ආගමික කටයුතු පමණක් නොව, සාරධර්ම වර්ධනය කරන, සමාජයට නිවැරදි මඟ පෙන්වන, ජාතික සමගිය ඇතිකරන ස්ථාන බවට පත්කිරීමට අවශ්‍යකරන ඕනෑම සහයෝගයක් ලබාදීම සදහා රජය සූදානම් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

වාද්දුව පොහොද්දරමුල්ල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික මහිගර්ජනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය සහ නව සංඝාවාසය විවෘත කිරීමේ මහෝත්සවට සහභාගී වෙමින් අද (26) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශකර සිටියාය.

කොත නිරාවරණයට පෙර වැඩමවා සිටි ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සිංගප්පූරුව මැලේසියාව බෝධිරාජ මධ්‍යස්ථානයන්හි අධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු නායක හිමිපානන් වහන්සේලා බැහැ දුටු අග්‍රාමාත්‍යතුමිය, පාරිසරික පාරිශුද්ධත්වය සහ දරුවන්ගේ සදාචාරාත්මකභාවය වර්ධනය ඇතුළු පාසල් තුළ සිදුකරන ඩෙංගු මර්දන වැඩසටහන් පිළිබඳව නායක ස්වාමීන් වහන්සේලා සමඟ අදහස් හුවමාරු කරගත්තාය.

අනතුරුව එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ කාර්යයට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය, චෛත්‍යරාජයානන් වෙත ප්‍රථම පුෂ්පෝපහාරය ද සිදු කළාය.

අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පවසා සිටියාය

මෙම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත පළඳවන්නටත්, අලුත් සංඝාවාසය මහා සංඝරත්නය වෙත පූජා කරන්නටත් සංවිධානය කර තිබෙන මේ උතුම් පින්කමට එකතු වෙන්න ලැබීම මම ලැබූ ලොකු භාග්‍යයක් ලෙස සලකනවා. මෙය විහාරස්ථානයේ ඉදිරි ගමනට අලුත් පියවරක් තැබීමක්.

අතීතයේ වටිනාකම් ආරක්ෂා කරගෙන, අනාගත පරපුරට ශක්තිමත් උරුමයක් බාරදෙන වැදගත් අවස්ථාවක්.

ආගමික ස්ථාන දියුණු කරනවා කියන්නේ ගඩොලින් වැලිවලින් ගොඩනැගිලි හදන එක විතරක් නෙවෙයි. ඒක මිනිසුන්ගේ හදවත් එකට යා කරන, හොඳ සාරධර්ම ආයෙමත් පණගන්වන පරිසරයක් නිර්මාණය කිරීමක්. ඒ වගකීම අප හැමෝගෙම වගකීමක්.

සමාජය සහ පන්සල අතර විශාල බැඳීමක් තිබෙනවා. ඒක සමාජ පැවැත්ම හා සදාචාරය සමඟ එකට බැඳුණු දෙයක්.

අද තාක්ෂණයේ දියුණුවත්, මිනිසුන්ගේ කාර්යබහුල ජීවිතයත් සමඟ ඒ බැඳීම අඩුවෙලා කියලා දැන් අපට දැනෙන්න පුළුවන්. නමුත් අපට දුකක් දැනුනු විට, ප්‍රශ්නයක් ආවම අපට මුලින්ම මතක් වෙන්නේ අපේ ආගම. ඒක අපේ ආධ්‍යාත්මය තුළ තිබෙන දෙයක්.රටක් දියුණු වෙන්නේ ආර්ථිකයෙන් විතරක් නෙවෙයි.

මිනිසුන්ගේ සිතිවිලි යහපත් වෙලා, සදාචාරය ශක්තිමත් වුණු දවසටයි රටක සැබෑ පුනරුදයක් ඇතිවෙන්නේ. ඒ ගමනට අපේ ගරුතර මහා සංඝරත්නයත්, මේ වගේ විහාරස්ථානත් ලබාදෙන පූර්ණ දායකත්වය මම මේ වෙලාවේ ගෞරවයෙන් අගය කරනවා.

එමෙන්ම, මෙරට පැවති පැරණි බෞද්ධ දැනුම් පද්ධතිය හා බැඳුණු සංස්කෘතිය සම්බන්ධව සොයාබැලීම සඳහා අනුරාධපුර, තිස්සමහාරාමය සහ යාපහුව වැනි ප්‍රදේශවල කැනීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද ඇය පවසා සිටියාය

මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොරොස්දූව වජ්‍රකෝත් මහා විහාරාධිපති සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, යටවර ධර්ම වර්ධනාරාමාධිපති මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පයාගල ප්‍රාදේශීය සංඝ සභාවේ උපාධ්‍යාය පරිත්ත භාණක පූජ්‍ය යටවර ඤාණසිරි ස්වාමීන් වහන්සේ, නෑහින්න ශ්‍රී විශුද්ධාරාමාධිපති විනය විශාරද පරිත්ත භාණක පූජ්‍ය බටදූවේ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ සහ වාද්දුව පොහොද්දරමුල්ල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික මහිගර්ජනාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිවෙන් අධිපති ස්වාමීන් වහන්සේලා සහ මහා සංඝරත්නය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, දායක දායිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය